ඒරියල් ෂරෝන් දිවියෙන් සමු ගනී.

හිටපු අගමැති ඒරියල් ෂරෝන් අභාවප්‍රාප්ත වූ බව ඊශ්‍රායල් ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබිණි.

වසර කීපයක් සිහි මූර්ඡා තත්වයේ පසු වූ හිටපු අගමැතිවරයා මිය යන විට අසූ හය වන වියේ පසු විය.

ශක්ති සම්පන්න එසේම විවාදාත්මක චරිතයක් වීම නිසා අගමැති ඒරියල් ෂරෝන් සමාජය තුළ ජනප්‍රිය ව සිටියේ ‘බුල්ඩෝසරය’ නමිනි.ඔහු නිර්භීත එසේම විවාදාත්මක චරිතයක් සහිත හමුදා නිලධාරියකු ද විය.

සොල්දාදුවකු හැටියට සිය ජීවන ගමන ආරම්භ කළ ෂරෝන් ගේ බල පරාක්‍රමය ඇතැම් විට ඔහු විසින් ගනු ලැබූ තීන්දු සහ තීරණ වලින් පලුදු වූ අවස්ථා බොහෝ වෙති.

ෂරෝන් ගේ ජීවිතයේ අඳුරුතම පැය උදා වුණේ ඔහු දේශපාලනයට පිවිසීමෙන් පසුව ය යන්න ඒරියල් ෂරෝන් සම්බන්ධයෙන් පළ කෙරෙන එක් අදහසකි.

1982 වසරෙහි ලෙබනනය ආක්‍රමණය කරන මෙන් ඊශ්‍රායල් හමුදාවන්ට අණ දෙන ලද්දේ එවකට ආරක්ෂක ඇමති පදවිය දැරූ ඒරියල් ෂරෝන් විසිනි.

ලෙබනන් ප්‍රහාරය

Image caption ෂරෝන් යුද බිමේ.

ලෙබනන් ආක්‍රමණයේදී ඊශ්‍රායලයට හිතවත් ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් ලෙබනනයේ සරණාගත කඳවුරු වල සිටි පලස්තීන ජාතිකයන් සිය ගණනක් මරා දමනු ලැබුන අතර, එම සමූහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් ඒරියල් ෂරෝන් වක්‍රව වගකිවයුතු බවක් පසුව අනාවරණය වීමෙන් ඔහු ආරක්ෂක ඇමති පදවියෙන් නෙරපා හරිනු ලැබුණි.

එමගින් ෂරෝන්ගේ කීර්තියට හානි සිදු වුනත් දේශපාලන පොර පිටියෙන් ඉවත් වීමට ඔහු එය හේතුවක් කර ගත්තේ නැත.

දෙවන පලස්තීන නැගිටීමට මූලික හේතුවක් වුණේ, වසර දෙදාහේ දී ඒරියල් ෂරෝන් ජෙරුසලමේ ජනතාව කුපිත කරමින් “ටෙම්පල් මවුන්ට්” (Temple Mount) වන්දනා කිරීම සඳහා ගිය ගමනයි.

ඊශ්‍රායල් ජනතාව ගේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සිය මැතිවරණ පොරොන්දුව කර ගත් ෂරෝන් දෙවන පලස්තීන නැගිටීම ආරම්භ වී වසරකට පසු පැවති ඊශ්‍රායල් මහ මැතිවරණයෙන් අතිවිශාල ජයක් වාර්තා කළත් පලස්තීන අභියෝගයට විසඳුමක් සොයා ගැනීමට ඔහු අසමත් විය.

දෙවන පලස්තීන නැගිටීම

Image caption ෂරෝන් සිහි මුර්ඡා වීමට පෙර 2005 වසරේ.

ඊශ්‍රායලයේ සතුරන් සමග සටන් කිරීම සඳහා සිය ජීවිතයෙන් වැඩි කලක් කැප කළ ඒරියල් ෂරෝන් ගේ දේශපාලන ජීවිතයේ අවසාන කාලයේ ඔහු විසින් ගනු ලැබූ තීරණයක් වුණේ රටේ ආරක්ෂාව සඳහා පලස්තීන භූමිය වෙන් කරමින් ආරක්‍ෂක පවුරක් බැඳීම.

‘ගාසා’ තීරයේ ඊශ්‍රායල් ජනාවාශ ඉවත් කිරීමට ෂරෝන් ගත් තීරණය දුෂ්ට පාවා දීමක් හැටියට ඔහුගේ දක්‍ෂිනාංශික ලීකුඩ් පක්ෂයේ බහුතරයේ විවේචනයට ලක් වූ අතර, ලීකුඩ් පක්ෂයෙන් ඉවත් ව තමාගේ ම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ඒරියල් ෂරෝන් පියවර ගත්තේ ඉන් අනතුරුවයි.

ඊශ්‍රායල් දේශපාලන පොර පිටියේ දැවැන්තයෙක් වූ ඒරියල් ෂරෝන් විසින් ගනු ලැබූ අවසාන කැපී පෙනෙන පියවර එම දේශපාලන පක්ෂය නිර්මාණය කිරීමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර