ජනාධිපති නිශාචර ජීවිතය හෙළි කිරීම 'වරදක්'

පැරිස් නගරයේ පළ කෙරෙන ‘ක්ලෝසර්’(Closer) සඟරාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් පවසයි.

ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ ඔහු ජූලී ගයේ (Julie Gayet ) නම් නිළියත් සමඟ සම්බන්ධයක් පවත්වන බවක් එම සඟරාවේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන්.

ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් තමා එවැනි සම්බන්ධයක් පවත්වන බව ප්‍රතික්ෂේප කර නැති අතර ඔහු කියා සිටින්නේ ඉහත කී පුවත සඟරාවේ පළ කරනු ලැබීම සිය පෞද්ගලික ජීවිතයට බරපතළ ඇඟිලි ගැසීමක් වන බවයි.

ප්‍රංශ ජනාධිපති නිල නිවාස වන ‘එලිසී’මන්දිරය ආසන්නයේ පිහිටි තට්ටු නිවාසයකයි ජූලී ගයේ නිළිය ජීවත් වන්නේ.

ජනාධිපති ඔලොන්ද් නිතරම මෙන් එම තට්ටු නිවාසයට යමින් සිය රාත්‍රී කාලයන් ජූලී ගයේ නිළියත් සමඟ ගත කරන බවට කටකතා පැතිර යමින් තිබුණ අතර ඒවා සනාථ කෙරෙන ඡායාරූප පෙළක් ම ‘ක්ලෝසර්’සඟරාවේ පළ කොට ඇත.

කළු හිස් ආවරණයක් පැළඳ

රියදුරකු විසින් පදවනු ලබන යතුරු පැදියකින් නිළිය ගේ තට්ටු නිවාසයට එන කළු පැහැති හිස් ආවරණයක් පැළඳ ගත් පුද්ගලයකු එම ඡායාරූප වල දැක්වෙයි.

සිය රහස් සමාගම් සඳහා යාම් ඊම් කිරීමේදී ජනාධිපතිවරයා එක් ආරක්ෂක නිලධාරියකු සමඟ පමණක් ගමන් ගැනීම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරන බවත් ‘ක්ලෝසර්’සඟරාව පෙන්වා දෙයි.

ප්‍රංශ ජනාධිපති ෆ්රන්ෂුවා ඔලොන්ද් ගේ නිල සහකාරිය වන්නේ වැලරි ට්‍රියර්වෙලර් (Valérie Trierweiler) නම් මාධ්‍යවේදිනියයි.

ඉන් පෙර ඔහු දීර්ඝ කාලයක් යුග දිවිය ගත කළේ ඔහු අයත් ප්‍රංශ සමාජවාදී පක්ෂයේ මුල් පෙළේ නායිකාවක වන සේගොලෙනේ රොයාල් (Ségolène Royal) සමඟයි.