ඉන්දු - ඇමෙරිකා සබඳතා රැක ගැනීමේ තැතක්

එකට එක කිරීමක් හැටියට තානාපති නිලධාරීන් නෙරපා හැරීමට කටයුතු කළ ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය දෙරට අතර සබඳතා යළි සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ ප්රයත්නයක නිරත වෙමින් සිටින බවක් දක්නට ලැබෙයි.
ඉන්දියානු විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, එක්සත් ජනපදය සමඟ සබඳතා ඇනහිට නැති බවයි.
“රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර වී නැහැ. තානාපති වරප්‍රසාද පිලිබඳ වියානා ප්රඥප්තිය සම්බන්ධයෙන් අපගේ වැටහීම සහ රටක අභ්‍යන්තර නීති රීති වලට අදාළ කාරණා තියෙනවා. ඇත්ත වශයෙන්ම, දෙරට අතර සබඳතා පිලිබඳ අපගේ බලාපොරොත්තු මූලෝපායී වූවක් හැටියටයි සැලකෙන්නේ” යයි ඉන්දීය විදේශ ඇමතිවරයා කියා සිටියි.
දිව්‍යානි කොබ්රගඩේ
තවදුරටත් අදහස දක්වන ඉන්දීය විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් ප්‍රකාශ කරන්නේ, විසඳා ගත යුතු නිශ්චිත කාරණා ඇති අතර, වෙනත් මිතුරු රටවල් සමඟ කටයුතු කරන ආකාරයට ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟත් ඒවා ගැන සාකච්ඡා කරන බවයි.
ඉන්දීය විදේශ ඇමතිවරයා එම අදහස් පළ කළේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු කල සිය තානාපති නිලධාරිණියක වූ දිව්‍යානි කොබ්රගඩේ වීසා වංචා කිරීම සහ නිවසේ මෙහෙකාරියකට ප්‍රමාණවත් වැටුපක් නො ගෙවීම පිලිබඳ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇය ඉන්දියාවට ආපසු පැමිණීමෙන් අනතුරුවයි.
ඇමෙරිකානු බලධාරීන් විසින් එම ඉන්දියානු තානාපති නිලධාරිනිය අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමක් හැටියට ඉන්දියාව ද ඇමෙරිකානු තානාපති නිලධාරියකුට රටින් පිටව යන මෙන් නියෝග කර තිබුණි.
රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මෙම අර්බුදයෙහි නිමාවක් දැකීම තම බලාපොරොත්තුව යයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.