ඒරියල් ශරෝන්ට රාජ්‍ය ගෞරව

Image caption දේහය විශේෂ වේදිකාවට ගෙන එනු ලැබුවේ හමුදා ආචාර පෙළපාලියකින්

ඊශ්‍රායලයේ හිටපු අගමැති ඒරියල් ශරෝන් ගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපස තැන්පත් කොට තිබියදී, ජනාධිපති ෂිමොන් පෙරේස් ගේ නායකත්වයෙන් හිටපු නායකයාට අවසන් ගෞරවය පුද කෙරිණ.

දේහයට මල් වඩමක් තැන්පත් කොට ජනාධිපතිවරයා ගෞරවය පුද කළ අතර, හිටපු අගමැතිවරයාට අවසාන ගෞරවය දැක්වීමට විශාල පිරිසක් මහ ජනතාව පෝලිම් ගැසී සිටියහ.

හමුදා රථ පෙළපාලියකින් ඒරියල් ශරෝන් ගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට රැගෙන ආ අතර, ඉන් අනතුරුව එය විශේෂ වේදිකාවට ගෙන එනු ලැබුවේ හමුදා ආචාර පෙළපාලියකින්.

ඒරියල් ශරෝන් තමන්ට අවශ්‍ය පරිදි සියල්ල සිදු වනු දැකීමට ප්‍රිය කළ බවයි, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා වූ සිල්වන් ශාලොම් බීබීසී යට කියා සිටියේ.

"එයාට නිතරම ගොඩාක් අදහස් තිබුනා. ඒ වගේම ඒ දේවල් තමන්ගේම ක්‍රමයකට ක්‍රියාත්මක කරන්න තමයි ඔහුට ඕන වුනේ," යනුවෙන් ඔහු කියා සිටියේය.

"අගමැති පදවිය දරපු කාලේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරලා ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කර ගන්න ඔහු තීරණය කලා. එක පාරක්වත් අරෆත් හමු වෙන්න ඔහුට ඕන වුනේ නැහැ."

හිටපු අගමැතිවරයාගේ දේහය හෙට මිහිදන් කිරීමට ප්‍රථම පැවැත්වෙන විශේෂ සමරු මෙහෙයට රටේ දේශපාලන නායකයන් සහ විදේශීය ප්‍රභූන් විශාල පිරිසක් ද සහභාගි වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර