ඩෙන්මාර්ක් කතක් දිල්ලියේ දී සමුහ දුෂණයකට ලක්වෙයි

No Rape Image copyright AP
Image caption පිහියක් පෙන්වා දුෂණය කර ඇති බව පොලීසිය කියයි

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර තමා නැවතී සිටි හෝටලයට නුදුරින් අතරමං ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් සමුහ දුෂණයකට ලක්කිරීමේ චෝදනාවක් පිළිබඳව නව දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අඟහරුවාදා සැන්දෑ යාමයේ පහර්ගාන්ජ් ප්‍රදේශයේදී මිනිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ මෙම 51 වියැති සංචාරක කාන්තාව පිහියක් පෙන්වා දුෂණය කර ඇති අතර ඇය සතු බඩු බාහිරදියද සොරකම් කර ඇති බව පොලීසිය කියයි.

බදාදා උදෑසන ඇය ඉන්දියාවෙන් ආපසු පිටත්වී ඇතිබවයි වාර්තාවන්නේ.

ලිංගික හිංසනයට එරෙහිව දැඩි නීති

2012 දී දිල්ලියේ බස් රථයක් තුල තරුණ ශිෂ්‍යාවක් සමූහ දුෂණයට ලක්කර මරා දැමීමත් සමග, ලිංගික හිංසනය පිළිබඳව සුපරික්ෂාව වැඩෙමින් තිබේ.

පසුගිය වසරේ, ලිංගික අපයෝජනයන් පිලිබඳ නීති දැඩි කිරීමට රජය පියවර ගත්තේ එම සිදුවීමත් සමග ඇතිවූ විරෝධතා රැල්ලෙන් පසුවයි.

මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තමා නවදිල්ලි දුම්රිය ස්ථානය අසළ හෝටලයට යන පාර සොයමින් සිටිද්දී මිනිසුන් පිරිසක් ඇය වෙත පැමිණි බවයි.

එම පිරිස ඇගේ බඩු බාහිරදිය සොරකම් කර ඇය දුෂණය කර ඇති බව නවදිල්ලි පොලීසියේ රාජන් භගත් බීබීසියට පැවසුවේය.

“ආපසු හෝටලය වෙත ගිය ඇය හෝටලයේ කළමනාකරු වෙත සිද්ධිය පැවසීමෙන් පසු ඔහු විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා. දැන් පරීක්ෂණ පැවැත්වෙනවා” යනුවෙන් පොලිස් ප්‍රකාශකයා පැවසීය.

මේ සිදුවීම සම්බන්ධව තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ මාර්තු මස මධ්‍ය ප්‍රදේශයේදී ස්විස් ජාතික තරුණියක් සමුහ දුෂණයකට ලක්කොට ඇගේ සහකරුවා ට පහරදීමක් සිදුවුණු අතර ජුලි මාසයේදී ඊට වගකිවයුතු හය දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර