බටහිර ඔත්තු අංශ සිරියානු රජය සමග සාකච්ඡා

Image copyright AFP
Image caption සිරියානු ආණ්ඩුවේ හමුදාව.

යුරෝපා බුද්ධි අංශ නියෝජිත මණ්ඩලයක් ජනාධිපති අසාද් පාලනය සමඟ ආරක්‍ෂක සහයෝගීතාවය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඩමස්කස් අගනුවරට යාම සම්බන්ධයෙන් සිරියාවේ විපක්ෂ ජාතික සන්ධානය කනස්සල්ල පළ කරයි.

ඉස්ලාමීය කණ්ඩායම් වලින් එල්ල වෙන තර්ජනය ගැන සාකච්ඡා කිරීම සඳහා බටහිර බුද්ධි අංශ නියෝජිත කණ්ඩායමක් පසුගිය දා ඩමස්කස් නගරයට පැමිණි බව සිරියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ෆයිසාල් මෙක්ඩාඩ් බීබීසිය සමඟ ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රංශය සහ ජර්මනිය පවසන්නේ එම රටවලින් සිය ගණනක් සිරියානු කැරලිකරුවන්ට එක් වෙමින් සිටින බවයි.

ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර ඇමති තෝමස් ඩි මෙෂිරේ ප්‍රකාශයක් කරමින්, සිරියානු කැරලිකරුවන්ට එක් වී ඇති ප්‍රංශ සහ ජර්මන් වැසියන් සිය ගණනක් ආපසු පැමිණ සිය රටේත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉඩකඩ ඇති බව බීබීසී යට කියා සිටියේය.

ඉරානය සීරුවෙන්

Image copyright AFP
Image caption නිදහස් සිරියානු කැරලිකරුවෝ

මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඩමස්කස් නගරයේ සංචාරයක නිරත වූ ඉරාන විදේශ ඇමති මොහමඩ් ජාවඩ් ෂරීෆ් සමඟ කියා ඇත්තේ, ඉස්ලාමීය අන්තවාදී මතවාදය මැද පෙරදිගට පමණක් නොව සමස්ත ලෝකයට ම තර්ජනයක් බවයි.

අල් කයිඩා ජාලයට සම්බන්ධ කණ්ඩායම් සහ ‘සුන්නි’ සන්නද්ධ කණ්ඩායම් රටට ඇතුල් වීමේ අනතුර ගැන අවධානයෙන් සිටින මෙන් ඉරාන අධිකරණ ප්‍රධානියා බුද්ධි අංශවලට මේ අතර දැනුම් දුන් බවක් ද වාර්තා වෙයි.

රට තුල නිකාය වාදී ගැටුම් පැතිර යාම පාලනය කර ගැනීමේ උවමනාව අනුව ‘සුන්නි’ කණ්ඩායම් කෙරෙන් එල්ල විය හැකි අනතුරක් ගැන ඉරාන් නිලධාරීන් මෙවැනි ප්‍රකාශ කරනු ලැබීම ඉතා ම දුර්ලභ කරුණක් බවත් වාර්තා වල දැක්වෙයි.

ඉරානය නිතරම කියා සිටින්නේ, රටේ ‘ෂියා’ සහ ‘සුන්නි’ ප්‍රජාව එක්සත් ව ජීවත් විය යුතු බවයි.

අනාථයන් අනූ ලක්ෂයක්

Image copyright Reuters
Image caption කුවේට් ආධාර සමුළුව.

මේ අතර කුවේටයේ පැවැත්වුන ආධාර දෙන ආයතනවල සමුළුවක් අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් සිරියාවේ මුළු ජනගහනයෙන් අඩකට වැඩි ජනකායකට හදිසි මානවීය ආධාර සැපයිය යුතු තත්වයක් උද්ගතව ඇති බවයි කියා සිටියේ.

මානවීය ආධාර ලැබිය යුත් සිරියානු ජන සංඛ්‍යාව අනූ ලක්ෂයකට වැඩි යයි සඳහන් කළ මහලේකම් වරයා එම ජනතාවට සහන සැලසීමට ඩොලර් කෝටි 650 ක් පමණ අරමුදලක් සපයන ලෙසයි ඉල්ලා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ඉතිහාසයේ මානවීය සහන මෙහෙයුම් සඳහා එතරම් මුදලක් ඉල්ලා සිටි පළමු වතාව මෙයයි.