කාබුල් ප්‍රහාරයකින් විසි එක් දෙනෙක් මරුට

විසි එක් දෙනකුට මරු කැඳවමින් ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර ලෙබනන් ආපන ශාලාවක එල්ල කෙරුණ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර මට්ටමින් හෙළා දැකීමට ලක් වෙමින් ඇත.

ලෙබනන් ආපන ශාලාවේ දොරටුව අසල දී මරාගෙන මැරෙන ප්‍රහාරයකු බෝම්බයක් පුපුරුවා ගනිද්දී තුවක්කු කරුවන් දෙදෙනෙක් වෙඩි තබන්නට පටන් ගත් බවයි අලුතින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනා විදේශිකයන්.

ප්‍රහාරය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇතැයි කී ඇෆ්ඝන් අභ්‍යන්තර කටයුතු භාර ඇමති, මොහමඩ් ඕමාර් ඩාවුද්ශායි නිලධාරීන් ගණනාවක වැඩ තහනම් කන ලද බවයි කියා සිටියේ.

පළිගැනීමේ ප්‍රහාරයක්

මරණයට පත්වූවන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇෆ්ඝන් අංශයේ ප්‍රධානී, වාඩෙල් අබ්දුල්ලා, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ යුරෝපා පාර්ලිමේන්තු අපේක්ෂක ඩෙල් සිංග් සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හතර දෙනකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මහලේකම් බැන් කි මූන් ප්‍රහාරය හෙළා දුටුවේ එය බිහිසුණු ක්‍රියාවක් යයි පවසමින්.

කාබුල් අගනුවර ඉසුරුමත් කලාපයක පිහිටි ප්‍රහාරයට ලක් වූ ලෙබනන් ආපන ශාලාව ආණ්ඩුවේ නිලධාරීන් සහ විදේශිකයන් නිතරම ගැවසෙන තැනකි.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ ඇත.

එක්සත් ජනපද හමුදා පර්වාන් පළාතේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අටදෙනකු මරා දැමීමට පළිගැනීමක් වශයෙන් සිය ප්‍රහාරය එල්ල කරන අලද බවයි තාලිබාන් ව්‍යාපාරය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර