කන්තලේ දිරිය දැරියන්ට ජය

kathale cricket
Image caption වයස අවුරුදු දාහතෙන් පහළ සමස්ත ලංකා බාලිකා ක්‍රිකට් ශූරතාවය .

වයස අවුරුදු දාහතෙන් පහළ සමස්ත ලංකා බාලිකා ක්‍රිකට් ශූරතාවය කන්තලේ රජ ඇල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් විසින් අත් කර ගෙන ඇත.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම තරඟාවලියේ අවසන් වටයේ දී කන්තලේ රජ ඇල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් අතින් පරාජයට පත් කෙරුණේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ කණ්ඩායමයි.

ජයග්‍රාහි බාලිකා කණ්ඩායම යළිත් කන්තලේට පැමිණි අවස්ථාවේ තැනින් තැන ඔවුන් පිළිගැනීමේ උත්සව කීපයක් පැවැත්වුණු අතර ප්‍රදේශවාසියන් ගේ සහභාගිත්වයෙන් විශේෂ පාසල් රැස්වීමක් ද කැඳවා තිබිණ.

විශේෂ පාසල් රැස්වීම ඇමතූ විදුහල්පති අනුරුද්ධ දිසානායක කියා සිටියේ, දහස් ගණන් සිසුවියන් සිටින නාගරික පාසල් වල දැරියන් පරදවමින් සිසුන් දෙසීයක් පමණ සිටින කන්තලේ රජ ඇල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ලැබූ මෙම ජයග්‍රහණය ගැන තමන් ආඩම්බර වන බවයි.

බීබීසී සංදේශය වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමේ නායිකා රුක්ෂලා මදුෂානි හමුවීමට ගිය ආර් ජී ධර්මදාසට දැක ගන්නට ලැබුණේ ගවයින් ලගින මඩ ගොහොරු සහිත පිටියක පුහුණුව ලබන දැරියන්.

පාවහන් මිළ දී ගැනීමට තරම් මිළ මුදල් තමන්ට නොමැති හෙයින් ග්‍රාමාරක්ෂක භටයන්ගෙන් පාවහන් ඉල්ලා ගන්නා බවත්, කොළඹ වෙස්ලි විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති අවසන් වටයේ තරඟ වලට සහභාගි වීම සඳහා ප්‍රදේශයේ වෙළෙඳ වෙළෙඳසැල් හිමියන් මිළ මුදලින් දායක වූ බවත් රුක්ෂලා මදුෂානි කියා සිටියාය.