දිල්ලියේ මහ ඇමති පොලිසිය සමඟ ගැටෙයි

Image copyright AFP
Image caption පොලිසිය පාලනය කිරීමට මීට වඩා බලතල අවශ්‍ය බව මහ ඇමති පවසයි

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කළ දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට පොලිසිය බාධා කිරීම හේතුවෙන් පොලිසිය සහ මහ ඇමතිවරයා අතර අගනුවර ජනාකීර්ණ වීථියකදී ගැටුමක් හට ගත්තේය.

මහ ඇමතිවරයා ගමන් ගත් පෙළපාලිය ඉන්දියා ද්වාරය අසලදී නතර කළ පොලිසිය, ස්වදේශ කටයුතු අමාත්‍ය සුශිල් කුමාර් ශින්දේගේ කාර්යාලයට පිවිසෙන මාර්ග වසා දැමුවේය.

මත්ද්‍රව්‍ය සහ ගණිකා ජාවාරමේ යෙදෙන කල්ලියක් අත් අඩංගුවට ගැනීම පිණිස පොලිසිය ක්‍රියා නොකිරීම සිය උද්ඝෝෂණයට හේතුව බවයි, මහ ඇමතිවරයා පවසන්නේ.

එහෙත් පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

දිල්ලි පොලිසිය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන බැවින්, පොලිසිය පාලනය කිරීමට මහ ඇමතිවරයාට මීට වඩා බලතල ලබා දිය යුතු බව අරවින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි පක්ෂයේ ඉල්ලීමයි.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරන මෙන් ඉල්ලා සිටීම පිණිසයි, මහ ඇමතිවරයා ස්වදේශ කටයුතු ඇමතිවරයාගේ කාර්යාලයට ගමන් කිරීමට උත්සාහ කළේ.

පසුගියදා පැවැත්වුණු දිල්ලි ප්‍රාන්ත මහ මැතිවරණයේදී දූෂණය තුරන් කොට, දේශපාලනය පිරිසිදු කරන බවට ප්‍රතිඥා දෙමින් ඉදිරිපත්වූ ආම ආද්මි පක්ෂය ආසන 70 න් ආසන 28 ක් දිනා ගැනීමෙන් අනනතුරුව අරවින්ද් කේජ්රිවාල් මේ මාසය මුලදී මහ ඇමති පදවියේ වැඩ භාර ගත්තේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර