සිරියානු විපක්ෂය ජිනීවා සාකච්ඡා වර්ජනයේ

Image copyright AFP
Image caption ජිනීවා - 2 සමුළු නියෝජිතයෝ.

සිරියානු විපක්ෂයේ බලවත් ම කණ්ඩායම වන ජාතික සන්ධානය මේ සතියේ ස්විට්සර්ලන්තයේ කැඳවා ඇති සාම සාකච්ඡා වලට සහභාගී වීම අත් හිටුවීමෙන් අනතුරුව ඉතාම දැඩි මුහුණු වරක් ගත් හදිසි සාකච්ඡා ආරම්භ කෙරී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ප්‍රකාශ කරයි.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් කැඳවනු ලැබ ඇති ‘ජිනීවා 2’ මූලික සාකච්ඡා වටයට සහභාගි වන මෙන් මහලේකම්වරයා ඉරානයට ආරාධනා කිරීමෙන් පසුවයි, සිරියානු ජාතික සන්ධානය එය වර්ජනය කිරීමේ තීන්දුව ගත්තේ.

සිරියානු විපක්ෂයේ ප්‍රකාශකයෙක් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ, ඉරාන් හමුදා ජනාධිපති බෂාර් අල් අසාද් ගේ පාලනයට සහාය දෙමින් සිරියානු භූමියේ යුද වදිමින් සිටින අතරවාරයේ එරට ජිනීවා සාකච්ඡා වලට හවුල් කර ගත නොහැකි බවයි.

අන්තර්වාර පාලනය

Image copyright AFP
Image caption සිරියානු ජාතික සන්ධානයේ සාකච්ඡාවක්.

තවදුරටත් අදහස් දැක් වූ එම ප්‍රකාශකයා සිරියාවේ අන්තර්වාර පාලනයක් පිහිටුවනු ලැබීම ඉරානය විසින් පිළි ගෙන නැති බවයි පෙන්වා දුන්නේ.

“මහලේකම්වරයා අත්වැරැදි දෙකක් කරලා තියෙනවා. ජිනීවා එකඟතාවයන්ට අනුව වෙනත් රටකට සාකච්ඡාවලට ආරාධනා කරනවා නම් එය සිදු විය යුත්තේ ප්‍රශ්නයට මැදිහත් රටේ පොදු එකඟතාවය අනුවයි,” සිරියානු ජාතික සන්ධානයේ ප්‍රකාශක මොන්ෂර් අක්බික් බීබීසී යට කියා සිටියේ ය.

එහෙත් මහලේකම් බැන් කි මූන් කියා සිටින්නේ, ඉරානයත් මේ සාකච්ඡා වටයට සහභාගි විය යුතු යයි තමන් දැඩිව විශ්වාස කරන බවයි.

ජිනීවා සාකච්ඡා වලට සහභාගී වන්නේ නම් ඉරානය සිරියානු අන්තර්වාර පාලනයක් පිහිටුවීමට විවෘතවම සහයෝගය පළ කළ යුතු යයි ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර