ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කල්ලි දූෂකයන් පොලිස් අත්අඩංගුවේ

බටහිර බෙංගාලයේ ප්‍රත්‍යන්ත ගැමි තරුණියකට දඬුවම් කිරීමක් වශයෙන් පුද්ගලයන් දොළොස් දෙනකු ලවා ඇය දූෂණය කරවීමේ අපරාධය සම්බන්ධයෙන් ඒ සඳහා නියෝග කළ ගම්පති සහ තවත් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

විසි හැවිරිදි තරුණිය එවැනි දඬුවමකට යටත් කිරීමට හේතුව, ඇය වෙනත් කුලයකට අයත් තැනැත්තකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඇමතිවරයකු වන සුබ්‍රාතා මුකර්ජි කියා සිටියේ, බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී පවතින සාපරාධී ස්ත්‍රී දූෂණ වලට එරෙහිව සමාජමය මට්ටමින් විසඳුමක් දිය යුතු ව ඇති බවයි.

කැලෑ උසාවි

ගම්පතිගේ තීන්දුව රටේ නීතියට පටහැණි නමුත් බොහෝ ඉන්දියානු ගම්වලින් එවැනි නීති විරෝධී උසාවි ගැන වාර්තා වෙයි.

ඉහත කී සමූහ දූෂණ අපරාධයෙන් අනතුරුව එම ප්‍රදේශයේ කාන්තාවන්ගේ සුරක්‍ෂිත භාවය සහතික කරන මෙන් බල කරමින් සමාජ සංවිධාන එහි පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටියහ.

අපරාධය සිදුව ඇති 'සන්තල්' ගෝත්‍රිකයන් වෙසෙන 'බිර්භුම්' පළාතේ විසි වසරක පමණ කාලයක් කටයුතු කරන කුනාල් දේව් පවසන්නේ, එවැනි කල්ලි දූෂණ එම ගෝත්‍රික සමාජයේ අලුත් ප්‍රපංචයක් වන බවයි.

ඉන්දියාව පුරා මහා විරෝධතා ව්‍යාපාර දියත් වීමට හේතු වූ මෙවැනි දූෂණ අපචාර කීපයකින් අනතුරුව ඉන්දියානු ආණ්ඩුව එවැනි සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩි කිරීමට පියවර ගෙන ඇතත් අපරාධ වලට ගොදුරු වෙන කාන්තාවන් පෙරට නො ඒම ප්‍රශ්නයක් බවයි වාර්තාකරුවන් පවසන්නේ.