ප්‍රේමයට දඬුවම සමූහ දූෂණය

තරුණියකට දඬුවම් කිරීමක් වශයෙන් ඇය පුද්ගලයන් දොළොස් දෙනකුගේ කල්ලියක් ලවා දූෂණය කරවීමේ සිද්ධියක් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ගම් ප්‍රධානීන්ගේ නියෝගයක් අනුවයි එම දූෂණය සිදු කර තිබෙන්නේ.

තරුණිය එවැනි දඬුවමකට යටත් කිරීමට හේතුව, ඇය වෙනත් කුලයකට අයත් තැනැත්තකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම.

එම සමූහ දූෂණයට හවුල් පුද්ගලයන් දොළොස් දෙනා සහ ගම්පතියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

රෝහල් ගත කරනු ලැබ සිටින විසි එක් හැවිරිදි තරුණියගේ ජීවිතය බේරා ගත හැකි තත්වයක පවතින බවත් එම වාර්තා මගින් පැවසෙයි.

සමාජ පිළිලයක්

Image caption ඉන්දීය කාන්තා රැකවරණයට මෑතදී හඳුන්වා දුන් රිවෝල්වරය

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඇමතිවරයකු වන සුබ්‍රාතා මුකර්ජි කියා සිටියේ, බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී පවතින සාපරාධී ස්ත්‍රී දූෂණ වලට එරෙහිව සමාජමය මට්ටමින් විසඳුමක් දිය යුතු ව ඇති බවයි.

“මේක කුල පීඩනය නිසා හට ගත් සමාජ පිළිලයක්. මගේ පිළිගැනීම අනුව, මේ අපරාධය ගැන හුදු සාකච්ඡා කිරීම වෙනුවට මෙය බරපතළ කාරණාවක් හැටියට සැලකිල්ලට ගත යුතුයි. ඒ සඳහා නිශ්චිත විසඳුමක් සොයා ගත යුතුයි. මේක තවදුරටත් හුදෙකලා සිද්ධියක් හැටියට පමණක් සැලකිය යුතු නැහැ. මේ අපරාධ දැන් නිරන්තරයෙන් ම සිද්ධ වෙන තත්වයකට පත් වෙලා තිබෙනවා,” ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඉහත කී සමූහ දූෂණ අපරාධයෙන් අනතුරුව එම ප්‍රදේශයේ කාන්තාවන්ගේ සුරක්‍ෂිත භාවය සහතික කරන මෙන් බල කරමින් සමාජ සංවිධාන එහි පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටියහ.

ඉන්දියාව පුරා මහා විරෝධතා ව්‍යාපාර දියත් වීමට හේතු වූ මෙවැනි දූෂණ අපචාර කීපයකින් අනතුරුව ඉන්දියානු ආණ්ඩුව එවැනි සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩි කිරීමට පියවර ගෙන ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර