සිරියාවට විසඳුම 'නිදහස් මැතිවරණයක්'

Image copyright Reuters
Image caption ඉරානය, සිරියානු ජනාධිපති අසාද් ගේ ප්‍රධාන ආධාර කරුවෙකි

සිරියානු අර්බුදය විසදීමෙහි ලා හොඳම විසඳුම වන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම බව ඉරාන ජනාධිපති හසාන් රුහානි කියා සිටියේය.

ලෝක ආර්ථික සමුළුව අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ පිටස්තර බලවේගයන්ගෙන් තොරව තම ප්‍රශ්නය විසඳා ගැනීමට සිරියානු ජනතාව අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

ඉරානය, සිරියානු ජනාධිපති අසාද් ගේ ප්‍රධාන ආධාර කරුවෙකි.

එකම කාමරයක

මේ අතරතුර සිරියානු සාම සාකච්ඡා ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත බව සාම නියෝජිත ලක්දාර් බ්‍රහිමි ප්‍රකාශ කළේය.

නමුත් විරුද්ධ පක්ෂය සහ රජයේ නියෝජිතයන් එකම කාමරයක ඉඳ ගැනීමට සුදානම් ද යන්න තවමත් පැහැදිලි නැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත් යුද්ධයට කොටු වී සිටින සාමාන්‍ය ජනතාවට මානවීය ආධාර සැපයීම සඳහා ප්‍රාදේශීය වශයෙන් සටන් විරාම ඇති කිරීමට දෙපාර්ශවයම කැමැත්ත පළ කර ඇති බව සාම නියෝජිතයා දැනුම් දුන්නේය.