මුබාරක් විරෝධීන්ට පොලිස් කඳුළු ගෑස්

හොස්නි මුබාරක් පාලනය පෙරළා දැමීමේ තුන් වැනි සංවත්සරය උදාවත් සමඟ ආරක්‍ෂක රැකවරණ තර කෙරෙමින් පවතිද්දී, ඊජිප්තු පොලිසිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

මුබාරක් පළවා හැරීමේ සංවත්සරය වෙනුවෙන් රැස් ව සිටි ජනතාව අතර බලයෙන් නෙරපා හැරුණ ඊ ළඟ ජනාධිපති මොහමඩ් මුර්ෂි ගේ ඉස්ලාමීය ආධාරකරුවන් පමණක් නොව අනාගමිකවාදීන් ද සිටි බවයි වාර්තා වන්නේ.

එම තුන්වැනි සංවත්සරය සැමරීමට ඊජිප්තු ආණ්ඩුවේ ආධාර කරුවන් ද ‘තහ්රීර්’චතුරශ්‍රයට එක්රැස් වෙමින් සිටියහ.

හමුදා යානයක් අනතුරේ

සිකුරාදා එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර හතරකින් හය දෙනකු මර දැමුණ අතර, ඒ සමඟ කයිරෝ අගනුවර සහ ඒ අවට කලාපයේ ගැටුම්කාරී උණුසුමක් මෝදු වෙමින් පවතින බවකුයි ඊජිප්තුවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

අද, සෙනසුරාදා උදෑසනත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණා බවත් ඊජිප්තු වාර්තා මගින් පැවසෙයි.

මේ අතර,ඊජිප්තු යුද හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී එහි කාර්ය මණ්ඩලය උතුරු සිනායි අර්ධද්වීපයේ දී අතුරු දහන් වී ඇති බවක් ද නිවේදනය කොට ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර