සිරියානු ආණ්ඩුව සහ විපක්ෂය එකම කාමරයක

Image caption සාකච්ඡා ආරම්භ කරමින්.

සිරියානු ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයන් මුහුණට මුහුණ හමු වෙන පළමු සාකච්ඡාවේ පළමු දිනයේ සැලකිය යුතු ප්‍රගතියක් නොලද බව එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු ලක්දාර් බ්‍රහිමි පවසයි.

ඔහු ජිනීවා නගරයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී එම අදහස් පළකළේ දෙපාර්ශවයේ සහභාගිත්වයෙන් පැවැත්වුන වට දෙකක සාකච්ඡාවකින් අනතුරුව.

යුද වැදී සිටින දෙපාර්ශවයේ නියෝජිතයන් අද, සෙනසුරාදා පළමු වතාවට එක ම කාමරයක දී මුණ ගැසුණ අතර එහි පළමු හමුව පැය භාගයකට සීමා විය.

එහෙත් එම පළමු හමුවේ දී දෙපාර්ශවය අතර කිසිදු කතා බහක් සිදු නොවූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ලක්දාර් බ්‍රහිමි ගේ කතාවක් සමඟ එම පළමු හමුව නිම වුණි.

සටන් විරාමයක්

Image copyright AFP
Image caption එ.ජා.මැදිහත්කරු ලක්දාර් බ්‍රහිමි.

සිරියානු විපක්ෂය පවසන්නේ ‘හොම්ස්’ නගරයේ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටීමට තමන් අදහස් කරන බවයි.

එහෙත්, සිරියානු ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති ෆයිසාල් අල් මික්ඩාඩ් ප්‍රකාශ කළේ , සිරියානු අර්බුදයේ එවැනි ගැඹුරු ප්‍රශ්න සාකච්ඡාවට ගැනීමට තවමත් කල් වැඩි බවයි.

“මෙම පළමු හමුව මධ්‍යම මට්ටමේ කාරණා සාකච්ඡාවට යොදා ගනු ලබන අතර ඉතා ම බරපතළ ප්‍රධාන මාතෘකා අදියරින් අදියරට ක්‍රමයෙන් සාකච්ඡාවට ගැනීමයි අපේ සැලැස්ම වී තිබෙන්නේ”,සිරියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා පවසයි.

‘හොම්ස්’ නගරය සඳහා තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් මෙම සාකච්ඡාවේදී ඉල්ලා සිටින බවයි සිරියානු විපක්ෂය පවසන්නේ.

දේශපාලන වෙනසක්

Image copyright AFP
Image caption නියෝජිතයෝ පැමිණෙති.

සටන් විරාමයක් සහ සිරියාව සඳහා අන්තර්වාර පාලනයක් පිහිටුවීම වැනි බරපතළ මට්ටමේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ විග්‍රහය ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවයි ,අසාද් පාලනය සහ විපක්ෂය පවසන්නේ.

දෙපාර්ශවය අතර ඇති විය හැකි වාග් සංග්‍රාමය මග හැර ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් ජිනීවා සාකච්ඡාවේ න්‍යාය පත්‍රය සකසා තිබෙන්නේ, එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු,ලක්දාර් බ්‍රහිමි හරහා අදහස් හුවමාරු කෙරෙන ආකාරයටයි.

ඉරිදා පැවැත්වෙන සාකච්ඡා වලදී සිරකරුවන් සහ පුද්ගලයන් පැහැර ගැනීම් ගැන අවධානය යොමු කරන බවයි, එක්සත් ජාතීන්ගේ නියෝජිත ලක්දාර් බ්‍රහිමි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

ජිනීවා සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව සිරියාවේ ඉදිරි දේශපාලන වෙනසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර