ආණ්ඩුවේ තනතුරු එපා - යුක්රේන විපක්ෂය

Image copyright n
Image caption විරුද්ධ පක්ෂ නායකයන්ට ආණ්ඩුවේ ඉහල තනතුරු දෙන බවට පොරොන්දුවක්

යුක්රේන ආණ්ඩුවේ ඉහල තනතුරු ලබා දෙන බවට දුන් පොරොන්දුව නොතකා, අලුත් මැතිවරණයක් වෙනුවෙන් කරන උද්ඝෝෂණය දිගටම ගෙන යන බව විරුද්ධ පක්ෂ පවසති.

ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කළ, යුක්රේනයේ පීතෘභූමි පක්ෂයේ නායක අර්සෙනි යත්සේනුක්, රටේ නායකයන් තෝරා ගැනීමේ අයිතිය තිබෙන්නේ රටේ ජනතාවට විනා ජනාධිපතිවරයාට නොවන බව සඳහන් කළේය.

සෙනසුරාදා රාත්‍රියේ කීව් අගනුවර කැරලි මර්ධක පොලිසිය රඳවා සිටි ගොඩනැගිල්ලක් අත්පත් කරගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ, එහි ජනේල කඩා දමමින්, රතිඥ්ඥා පත්තු කරමින් ගොඩනැගිල්ල ඇතුලට කඩා වැදුනහ.

වෙනත් විපක්ෂනායකයකු වන හිටපු බොක්සිං ශූර විතාලි ක්ලිච්කෝ එහි පැමිණ ආරක්ෂාකාරීව පොලිස් නිලධාරීන් පිටතට ගැනීමෙන් අනතුරුව එම උද්ඝෝෂණය නිමාවට පත් විය.

රට පුරා නගරවල විරෝධතා ව්‍යාපාර ඇවිල යමින් තිබියදී සෙනසුරාදා ප්‍රකාශයක් කළ අභ්‍යන්තර කටයුතු භාර ඇමති විතලි ශක්‍රවෙන්කා, අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව සඳහන් කළේය.

විරෝධතාවාදීන් අවි ආයුධ එක්රැස් කරමින් සිටින බවට ඇමතිවරයා චෝදනා කළේය.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව කීව් නුවරදී තුවාල ලද උද්ඝෝෂකයකු මරණයට පත් ව ඇති අතර, ඒ අනුව මෙවර විරෝධතා ව්‍යාපාර වලදී මරණයට පත් සංඛ්‍යාව තුන්දෙනෙක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර