ඔබාමා පිළිවෙතේ අලුත් පිම්මක්

Image copyright AFP

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ජාතිය අමතා සිදු කරන සිය වාර්ෂික දේශනයේ දී මෙවර අවධානය යොමු කළේ, දුප්පත් සහ පොහොසත් ජනතාව අතර වැඩෙමින් පවතින පරතරය අවම කරනු ලැබීම සහ රටේ ආර්ථික වර්ධනය නංවාලීම දෙසටයි.

‘ක්‍රියාකාරී වසරක්’ සඳහා ප්‍රතිඥාවක් දුන් ජනාධිපති ඔබාමා, සමස්ත ඇමෙරිකානු ප්‍රජාව වෙනුවෙන් සම අවස්ථා සහතික කරනු ලැබීමේ ප්‍රතිඥාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සිය පාලන සමයේ නියමිත ව්‍යාපෘතිය වන බවයි කියා සිටියේ.

තවදුරටත් අදහස් දැක් වූ බරක් ඔබාමා, නව කොන්ත්‍රාත්තු යටතේ වැඩ කරන එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවේ වෘත්තිකයන්ගේ අවම වේතන නංවාලීම ද ඇතුළු පියවර ගැනීම සඳහා දැනට බල බෙදුමක් සහිත කොන්ග්‍රස් මණ්ඩලය මග හරිමින් අවශ්‍ය තීන්දු ගැනීමට සිය ජනාධිපති පදවිය සතු විධායක බලය පාවිච්චි කරන බවත් අවධාරණය කොට ඇත.

දුප්පත් පොහොසත් පරතරය

Image copyright Reuters

වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා මෙන් ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළ ඇමෙරිකානු නායකයා කාන්තාවන්ට සහ පුරුෂයන්ට ගෙවනු ලබන වැටුපේ විෂමතාවයක් පැවැත්ම පිළිගත නො හැකි බවයි සඳහන් කළේ.

ආයෝජන සඳහා ලෝකයේ හොඳ ම භූමිය ඇමෙරිකා එක්සත් ජනපදය බවට විශ්වාසය පළ කළ ජනාධිපති ඔබාමා, ඔහු විසින් පෙරට තබන ලද මත භේදයට තුඩු දුන් සෞඛ්‍යය සංරක්ෂණ වැඩ පිළිවෙල යුක්ති සහගත කරමිනුයි කරුණු දැක්වූයේ.

සිය විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් අදහස් දැක් වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, එමගින් ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය පෙරට යාම නතර කෙරුණ බව පවසමින්, ඒ සම්බන්ධයෙන් නිත්‍ය ගිවිසුමකට යාමේ සාකච්ඡා සඳහා ඉල්ලීමක් ද කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපති ඔබාමා, එවැනි සාකච්ඡාවකට මං අහුරමින් ඉරානයට එරෙහිව සම්බාධක නිර්දේශ කරමින් කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරනු ලබන ඕනෑම නව පනත් කෙටුම් පතකට එරෙහිව සිය නිශේධ බලය පාවිච්චි කරන බවයි කියා සිටියේ.

විදේශ ප්‍රතිපත්තිය

Image copyright Getty

2014 වසර සිය පාලනය විසින් ‘ගුන්තනාමෝ’ සිර කඳවුර වසා දමනු ලැබීමේ අවුරුද්ද විය යුතුව ඇති බවයි ජනාධිපති ඔබාමා පවසන්නේ.

සිය වාර්ෂික දේශනයේදී තව දුරටත් කතා කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා, යේමනය, සෝමාලියාව ,ඉරාකය සහ මාලි වැනි රටවල අන්තවාදී ජාල සහ අල් කයිඩා සාමාජිකයන්ට එරෙහි සටනට කැප වෙන බව යළි සපථ කිරීමක් ද කළේය.

එහෙත් රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත අවධාරණය කරමින් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදය අනවරත යුද පිළිවෙතින් බැහැර විය යුතුව ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර