ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දු-පකිස්තාන් ධීවරයෝ සිරගත වෙලා

දශක ගණනාවක් ඉන්දියාවත් පකිස්තානයත් අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්චා මගින් නොවිසඳුණු එක් ගැටලුවක් වන්නේ ධීවර කටයුතු වලදී මුහුදු සීමා උල්ලංඝනය කිරීම පිලිබඳ ප්‍රශ්නයයි.

වැරැදීමකින් හෝ කාලගුණික තත්වයන් හේතුවෙන් එකිනෙකා ගේ මුහුදු සීමාවන් ඉක්මවා ගිය දෙරටේම අසරණ ධීවර ජනතාවයි මේ මගින් පීඩාවට පත්වී ඇත්තේ.

මීට සති කිහිපයකට පෙර ද තම සුපුරුදු රැකියාවට මුහුදු ගිය ධීවරයින් දහතුන් දෙනෙක් ආපසු පැමිණ නැත්තේ මෙලෙස ඉන්දියාවේ සිරගත වීම හේතුවෙන්.

ඔවුන් පමණක් නොව තවත් බොහෝ ධීවරයින් මෙලෙස ඉන්දියානු මුහුදු සීමා ආරක්ෂක අංශ වලට හසු වීමෙන් සිරගතවී ඇති බවයි පකිස්ථාන ධීවරයෙක් වන හම්සා මලා පවසන්නේ.

“මහ මුහුද මැද්දෙදි සුළඟට අහු උනාම අපේ බෝට්ටු ඇතට ඇදිල යනවා. වතුරේදී සීමා මායිම් පෙනෙන්නේ නැහැ. ධීවරයෝ මුහුදු ආරක්ෂක හමුදාවන් අතට පත්වෙන්නේ එවිටයි” යනුවෙන් හම්සා තවදුරටත් විස්තර කළේය.

අත් වැරදීමක් වුනත් සමාවක් නැහැ

පකිස්ථානයේ පමණක් නොව අත් වැරදීමකින් හෝ මුහුදු සීමාවන් ඉක්මවා ගිය ඉන්දියාව හා පකිස්ථානය යන දෙ රටෙහි ම ධීවරයන් මෙලෙස ප්‍රතිවිරුද්ධ රටේ සිර ගෙවල් වල සිරගත වී ඇති බවයි පැවසෙන්නේ.

මොවුන්ගෙන් ඇතැමෙක් ඔත්තුකරුවන් විදියට චෝදනා ලබා ඇති හෙයින් ඉක්මනින් නිදහස් කෙරෙන බව පැවසුනද අවුරුදු ගණනාවක් යනතුරු නිදහස් නොකෙරෙයි.

මායි බාගී නම් වයස් ගත ධීවර කාන්තාව පවසන්නේ ඇගේ පවුලේ පිරිමින් සතරදෙනෙක් 1999 සිට තවමත් ඉන්දියාවේ සිරගත වී සිටින බවයි.

කුණාටුවකට අසුවීමෙන් ඔවුනගේ බෝට්ටුව ඉන්දියානු මුහුදු සීමාවෙන් ඔබ්බට ආදී ගොස් ඇති අතර ඇගේ බෑනා මිය ගොස් ඇත්තේද එම සිර කුටියකදී ම බවයි ඇය පවසන්නේ.

මේ පවුල්වල අය පකිස්ථාන රජයට චෝදනා කරන්නේ තමන්ගේ අදරනීයයන් නැවත ගෙන්වා දීමට රජය උනන්දුවක් නැති බව පවසමින්.

කෙසේවුවද මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට බැරිවීම තුලින් දෙරටෙහි ම මිනිස් ජීවිත රැසක් පීඩාවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.