'මියුනිච්' සමුළුවේ වාග් සංග්‍රාමයක්

Image copyright Reuters
Image caption මියුනිච් සමුළුව අමතන ජර්මන් චාන්සලර්වරිය

යුක්‍රේනයේ අනාගතය මුල් කර ගනිමින් රුසියාව සහ බටහිර බලවතුන් අතර ගැටුමක් හට ගෙන ඇත.

ආරක්‍ෂාව පිළිබඳ මියුනිච් ජාත්‍යන්තර සම්මේලනයේදීයි, දෙපාර්ශවය අතර වාග් සංග්‍රාමය ආරම්භ වී තිබෙන්නේ.

සති කීපයක් පෙරට යමින් පවතින විරෝධතා ව්‍යාපාර වලින් පසුව, යුක්‍රේනයේ ඉරණම දෝලනය වෙන තත්වයක පවතින නමුත් එරට අනාගතය යුරෝපා හවුලත් සමඟ යයි යුරෝපා මණ්ඩලයේ සභාපති හර්මන් වොන් රොම්පුයි එම ජාත්‍යන්තර සමුළුවේදී කියා සිටියේය.

යුක්‍රේනයේ අනාගතය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අදහස් දක්වමින්, එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදී සටනකට සහයෝගය දුන් බවයි ප්‍රකාශ කළේ.

ඊට ප්‍රතිචාරය දක්වමින් කතා කළ රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රෝෆ්, යුක්‍රේන් උද්ඝෝෂකයන් විසින් ගෙන යනු ලබන ප්‍රචණ්ඩ වීදි විරෝධතා ව්‍යාපාර සහ පොලිසියට එරෙහිව සිදු කරන පහර දීම් යුක්ති සහගත කරන බවට යුරෝපා හවුලට චෝදනා කර ඇත.

Image copyright AP
Image caption යුක්‍රේන්හි පෙරට යන ගැටුමේ දසුන්

දැනට තෝරාගෙන ඇති ක්‍රියා මාර්ගය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම සඳහා කිසිදු මෙහෙයක් ඉටු නොකෙරෙන බවයි, රුසියාවේ විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ.

රුසියාවේ ප්‍රතිචාරය

‘කීව්’ අගනුවර සිටින ඇමෙරිකානු තානාපතිවරයා ,දැනට රෝහල්ගත කරනු ලැබ සිටින යුක්‍රේන් විපක්ෂ ක්‍රියාකාරිකයකු බැලීම සඳහා යාමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට රෝහලට පිවිසීමට වෛද්‍යවරු ඉඩ දී නැති බවක් ද වාර්තා වෙයි.

යුක්‍රේන් සමාජයට සහයෝගය පළ කරනු ලැබීම සංකේතවත් කිරීමක් වශයෙන්, රෝහලේ සිටින දිම්ත්රෝ බුලටෝෆ් බැලීමට කැනඩාවේ , යුරෝපා හවුලේ තානාපතිවරුන් සහ තමාට අවශ්‍ය කල බවයි,ඇමෙරිකානු තානාපති ජෙෆ්රි පියට් ප්‍රකාශ කළේ.

යුරෝපා හවුලත් සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කරනු ලැබීම රුසියාවට හිතවත් යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් විසින් පසුගිය නොවැම්බර් මාසයේ බැහැර කරනු ලැබීමෙන් පසුවයි, එරට දැන් පවතින ගැටුම් රැල්ල පැතිර යන්නට පටන් ගත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර