රන් දෙවොල ප්‍රහාරයට 'බ්‍රිතාන්‍ය උපදෙස්'

Image copyright AFP
Image caption රන් දෙවොල සීක් වරුන්ගේ අති පූජනීය සිද්ධස්ථානයක්

තිස් වසරකට ඉහත දී අම්රිත්සාර් නුවර රන් දෙවොලෙන් සීක් සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම පිණිස ඉන්දීය හමුදා දියත් කළ මෙහෙයුමට බ්‍රිතාන්‍ය හමුදා උපදෙස් ලබා දී ඇති බව නිල පරීක්ෂණයකින් අනාවරණය වූයේ යයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වරයා පවසයි.

බ්‍රිතාන්‍ය මිලිටරි උපදේශකයා පෙබරවාරි මාසයේ සංචාරය කළ පසු මෙහෙයුමේ වගකීම ඉන්දීය හමුදා භාර ගත් බවයි විදේශ ලේකම් විලියම් හේග් පාර්ලිමේන්තුව අමතා අඟහරුවාදා ප්‍රකාශ කළේ.

ඉන් පසු 1984 ජූනි මාසයේ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය හමුදා උපදේශකයා පෙබරවාරි මාසයේ නිර්දේශ කළ ආකාරයට වෙනස් අයුරින් බව ඔහු කියා සිටියේය.

“බ්‍රිතාන්‍ය මිලිටරි උපදේශකයාගේ උපදෙස්, නීල තාරකා මෙහෙයුම සම්බන්ධයෙන් ක්‍රියාවට නැගුණේ ඉතාම සීමිත මට්ටමකින් බවයි වාර්තාවේ නිගමනය.”

මිලිටරි උපදේශකයාගේ උපදෙස් සහ බ්‍රිතාන්‍යය ඉන්දියාවට අවි ආයුධ විකිණීම අතර කිසිම සම්බන්ධයක් නැති බවද විලියම් හේග් කියා සිටියා.

තමන් මෙහෙයුම භාර ගත් අවස්ථාවේ පටන් එයට බ්‍රිතාන්‍යයේ කිසිදු සම්බන්ධයක් නොතිබුනු බව යි නීල තාරකා මෙහෙයුමට අණ දුන් ජනරාල් කේ එස් බ්‍රා මීට ඉහත දී බීබීසීයට කියා සිටියේ.