පීටර්සන්ට එංගලන්ත පිලේ දොර වැසෙයි

Image copyright Getty

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළේ පිතිකරුවකු වූ කෙවින් පීටර්සන් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීම ජගත් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට ලක් වෙමින් පවතී.

තිස්තුන් හැවිරිදි ක්‍රීඩකයා තවදුරටත් සිය ජාතික කණ්ඩායමට ඇතුළත් නොවන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත.

එංගලන්ත කණ්ඩායමේ පුහුණු කරු ඇන්ඩි ෆ්ලවර් පසුගියදා නිම වූ පරාජිත ඔස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව ගිය සතියේ පදවියෙන් ඉල්ලා අස් වූ අතර, ඔහු සහ කෙවින් පීටර්සන් අතර අතිශයින් පිරිහුණු සම්බන්ධයකුයි පැවතුනේ.

එංගලන්ත කණ්ඩායම තුළ බොහෝ අවස්ථාවන්හි මත ගැටුම් වලට හේතු වූ කෙවින් පීටර්සන්, දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙද්දී සිය කණ්ඩායමේ සගයන් සම්බන්ධයෙන් යවා තිබුණ ප්‍රකෝපකාරී ජංගම දුරකථන පණිවුඩ නිසා 2012 වසරේදීත් එංගලන්ත කණ්ඩායමෙන් කෙටි කලකට ඉවත් කරණු ලැබුණි.

එම ආරාවුල නිම වුනේ පීටර්සන් එවකට කණ්ඩායම් නායක ස්ට්‍රෝස්ගෙන් සමාව අයැදීමෙන්.

විනය ප්‍රශ්න

Image copyright Getty

2004 දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ දකුණු අප්‍රිකාවේ උපන් කෙවින් පීටර්සන් 2008 වසරේ කණ්ඩායමේ නායකත්වයට පත් කෙරිණ. එහෙත් එය මාස පහකට පමණක් සීමා විය.

ටෙස්ට් තරඟ 104කදී පීටර්සන් ලකුණු 8,181 ක් වාර්තා කර ඇති අතර, ඔහු ලබා ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව විසි තුනකි.

තමා කණ්ඩායමෙන් ඉවත් කරන ලද බව දැනුම් දුන් මොහොතේ පීටර්සන් සිය ප්‍රතිචාරය පළ කළේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වරම අහිමි වීම බලවත් කණගාටුවකැයි පවසමින්.

“මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මට ගෞරවයක්. මම ක්‍රීඩාව සඳහා එංගලන්ත කමිසය ඇඳ ගත්තේ විශාල ආඩම්බරයකින්. එය මට සදාකාලික මතකයක්. ඒත් මගේ ඇදහිය නොහැකි ක්‍රීඩා චාරිකාව හදිසියේ ම අතරමග නතර කිරීම හරිම දුකක්. ” පීටර්සන් පවසයි.

කෙවින් පීටර්සන් කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ අසාර්ථක ඕස්ට්‍රේලියානු සංචාරයකින් පසුව නමුත් ඔහුගේ ‍ ක්‍රිකට් ක්‍රීඩා දිවිය ජයග්‍රහණ රැසකින් සමන්විත වෙයි.

2010 වසරේ විස්සයි විස්ස ලෝක තරඟාවලිය එංගලන්තය විසින් දිනා ගනු ලැබුණ මොහොතේ එම තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුණේ පීටර්සන්.

එංගලන්තයේ ‘ සරේ’ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නමක් තැබූ කෙවින් පීටර්සන් කියා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට යමක් ඉටු කිරීමේ හැකියාව තවමත් තමා තුළ ඇති බවයි.