ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සත් කඳු ජයගත් බංගලි දියණිය

එවරස්ට් කඳු මුදුනට නැගි ලාබාලතම බංග්ලාදේශ ජාතිකයා ලෙස සැලකෙන තිස් එක් හැවිරිදි වස්ෆියා නස්රීන් ලෝකයේ මහාද්වීප හතේ පවතින උසම කඳු හත තරණය කිරීමේ අභියෝගයකට අවතීර්ණ වී සිටින්නීය.

දෙදහස් එකොළහ වසරේ දී ටැන්සානියාවේ කිලමන්ජාරෝ කඳු මුදුන තරණය කළ වස්ෆියා ඉන් පසු අන්දීස් හි අකොන්කගුවා කන්දත්, දෙදහස් දොළහ වසරේදී එවරස්ට් කන්දත්, දෙදහස් දහතුන වසරේ දී ඇන්ටාර්ක්ටිකා වේ වින්සන් මැසිෆ් කන්දත් තරණය කළාය.

Image copyright Wasfia Nazreen
Image caption බංග්ලාදේශ ජනතාව ගැන මෙනෙහි කිරීමෙන් පන්නරය ලබන බව ඇය පවසයි

ඉන් අනතුරුව රුසියාවේ කොකේසස් කඳුකරයේ එල්බ්‍රස් කන්ද තරණය කළ වස්ෆියා දැන් සුදානම් වන්නේ උතුරු ඇමරිකාවේ දිනාලි කන්ද සහ ඉන්දුනීසියාවේ කර්ස්ටන්ස් පිරමීඩය තරණය කිරීමටයි.

'රටට හොඳ නමක්'

මෙවැනි අසාමාන්‍ය අභියෝගයක් භාර ගැනීමේ සිය අදිටන පිටුපස තිබෙන්නේ තම මව්බිම වූ බංග්ලාදේශය හා එහි වෙසෙන ජනතාව පිළිබඳව සාධනීය ආකල්පයක් ලෝක ජනතාව තුළ ඇති කිරීමේ අභිප්‍රාය බවයි ඇය පවසන්නේ.

ජාත්‍යන්තර මාධ්‍ය බංග්ලාදේශය පිළිබඳව නිශේධනීය තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇය තම කනස්සල්ල පළ කළාය.

"ඔව්, අපි පිළිගන්නව දේශපාලනය හා සම්බන්ධ දූෂණයන්ට අදාලව වැරදි නරක දේවල් ගොඩක් තියනව. ඒත් අපි ගැන කියන්න හොඳ දේවල් මොනවත්ම නැද්ද කියන ප්‍රශ්නය නිතරම මගෙ හිතේ තිබුණ. මුස්ලිම් රටක කාන්තාවන් විදියට පසුගිය දශක හතරක කාලය තුළ අපි අත්කරගත් බලය හා ජයග්‍රහණ හුවා දැක්විය නොහැක්කේ මන්ද කියන කාරණය තමයි මාව මේ අභියෝගයට දිරිමත් කළේ," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

එවරස්ට්

එවරස්ට් තරණය කිරීම සඳහා ඇය තෝරා ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි විසින් ද තෝරා ගත් නේපාලය දෙසින් ඇති වඩා දුෂ්කර මාර්ගයයි.

තරණය සඳහා තෝරාගත් කඳු හත අතරින් තරණයට දුෂ්කරම කන්ද එවරස්ට් බව ඇයගේ අදහසයි.

බංග්ලාදේශ හතලිස් වන ජාතික දිනය වන 2012 මාර්තු විසි හය වෙනිදා ආරම්භ කළ එවරස්ට් තරණය ඉන් හරියටම මාස දෙකකට පසු මැයි 26 වෙනිදා නිම කළාය.

මේ ගමනේදී වඩා දුෂ්කර වූයේ තනි කාන්තාවක් ලෙස මානසික වශයෙන් ශක්තිමත්ව සිටීම බවයි ඇය පවසන්නේ.

මානසිකව දුර්වල වන හැම මොහොතකම බංග්ලාදේශ ජනතාව ගැන මෙනෙහි කිරීමෙන් යළි පන්නරය ලද බව ඇය වැඩිදුරටත් පවසන්නීය.