ඉන්දීය සංචාරක වීසා පහසුව ශ්‍රී ලංකාවට නැහැ

Image copyright Getty

ඉන්දියාව සංචාරකයන්ට දේශ සීමාවේ දී වීසා නිකුත් කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව බැහැර කොට ඇත.

සංචාරක කර්මාන්තය නංවා ලීමේ වැඩපිළිවෙළක් හැටියට ඉන්දියාව දේශසීමාවේදී වීසා නිකුත් කරන රටවල් සංඛ්‍යාව විශාල සංඛ්‍යාවකින් වැඩි කරනු ලැබ ඇති නමුත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටකට තව දුරටත් එම වරප්‍රසාදය අහිමි වෙයි.ශ්‍රී ලංකාව හැරුණ විට එම වරප්‍රසාදය අහිමි වෙන සෙසු රටවල් වන්නේ පකිස්තානය,සුඩානය,ඇෆ්ඝනිස්තානය,ඉරානය,ඉරාකය,නයිජීරියාව සහ සෝමාලියාවයි.

ඉන්දීය සැලසුම් ඇමති රජීව් ශුක්ලා ඊයේ බදාදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, සංචාරක කර්මාන්තය නංවා ලීමේ වැඩ පිළිවෙලක් අනුව ලෝකයේ රටවල් රාශියකින් සිය රටට පැමිණෙන සංචාරකයන්ට දේශ සීමාවේ දී වීසා නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

රටවල් එකසිය අසූවක්

Image copyright AFP
Image caption විදේශ සංචාරකයන් ඉන්දියාවේ.

“අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරනු ලැබීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් මාසයේ මී ළඟ සංචාරක සමය උදාවත් සමඟ යෝජිත වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බවයි" ඇමති රජීව් ශුක්ලා ප්‍රකාශ කළේ.

සිය සැලැස්ම නිසා යටිතල පහසුකම්වල වර්ධනයක් පමණක් නොව දහසකට අධික නව රැකියා නිපදවෙන බවත් ඉන්දීය සැලසුම් ඇමතිවරයා පවසයි.

ඉන්දියාව දැනට දේශ සීමා දොරටුවලදී සංචාරක වීසා ප්‍රදානය කරනු ලබන්නේ පින්ලන්තය,පිලිපීනය,සිංගපූර්,සහ ජපානය ඇතුළු රටවල් එකොළහකට පමණයි.

නව සැලැස්ම අනුව එම අයිතිය ලබන රටවල් සංඛ්‍යාව 180 ක් බවට පත් වෙයි.

“මේ සැලැස්ම අනුව රටේ සංචාරක කර්මාන්තය විශාල පිම්මක් පනිනවා.මේක ඓතිහාසික තීන්දුවක්.” ඉන්දීය සැලසුම් ඇමති රජීව් ශුක්ලා කියා සිටී.

සමස්ත ඉන්දීය සංචාරක ආයතන සම්මේලනයේ විධායක කමිටුවේ සාමාජික බෂීර් අහමඩ් බීබීසී ‘තමිලෝසයි’ සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය ඉහත කී වීසා ව්‍යාපෘතියෙන් ඉවත් කෙරුනත් ශ්‍රී ලංකාවට එම පහසුකම් සැලසීම ඉන්දියානු සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට උපකාරී වන බවයි.

රටක අභ්‍යන්තර කාර්යයක්

“විවිධ අරමුණු මත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට එනවා.සාප්පු සවාරිවලට, නෑදෑයෝ බලන්න, බෙහෙත් ගන්න. ඔවුන්ටත් දේශ සීමාවේදී සංචාරක වීසා සැපයීම අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙන්න හේතු වෙනවා.” බෂීර් අහමඩ් පවසයි.

භාරත ලංකා සංචාරක සමාගමේ දීපක් වසන්ත බීබීසී සංදේශයට අදහස් දක්වමින් ශ්‍රී ලාංකිකයන්ටත් එම පහසුව සැලසීමට ඉන්දියාව පියවර ගත්තේ නම් එය යහපත් පියවරක් වන බවයි.

දේශසීමාවේදී වීසා පිරිනැමෙන රටවල් ගොන්නට ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුලත් නොකිරීම සම්බන්ධයෙන් අදහස් විමසූ විට දිල්ලි අගනුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් බීබීසියට කියා සිටියේ රටක වීසා ප්‍රතිපත්තිය තීන්දු කිරීම එම රට සතු අභ්‍යන්තර කාර්යයක් වන බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක් සිය නව සංචාරක වීසා ව්‍යාපෘතියෙන් බැහැර කිරීමට ඉන්දියාව තීන්දු කර තිබෙන්නේ ඊට බල පෑ හේතූන් පැහැදිලි නොකරමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර