ඇමෙරිකානු අපහාසය ජර්මනියේ දෝශ දර්ශනයට

Image caption ඇන්ජෙලා මර්කල් සහ වික්ටෝරියා නුලන්ඩ්

ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් යුරෝපා සංගමය සම්බන්ධයෙන් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය කිසිසේත්ම පිළි ගත නොහැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කරයි.

යුක්රේනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ක්‍රියා කරන ආකාරය විවේචනය කරමින් තමන් කරන ලද ප්‍රකාශයක් අනාවරණය වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියාය.

ඇයගේ දුරකථන සංවාදයට රහසේ සවන් දී එය පටි ගත කොට තිබෙන හැඩකුයි, දක්නට ලැබෙන්නේ.

එවැනි ප්‍රකාශයක් කළ බව එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කොට නැත.

පහත් හැසිරීමක්

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ඇන්ජෙලා මර්කල් ගේ ප්‍රකාශිකා ක්‍රිස්ටියන් විර්ට්ස් පැවසුවේ;

“එම ප්‍රකාශය කිසිසේත්ම පිළි ගත නොහැකි බව තමයි චාන්සලර්වරියගේ අදහස. කැතරින් ඈශ්ටන් ආර්යාව ඉතාමත්ම ඉහල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්න බවත්, යුක්රේනයේ තත්වය සන්සුන් කිරීම පිණිස යුරෝපා සංගමය දිගටම උත්සාහ දරන බවත් චාන්සලර්වරිය යලිත් වරක් අවධාරණය කරනවා.” යනුවෙන්.

රුසියාව විසින් එම දුරකථන සංවාදය පටි ගත කොට ඇති බවට ඉඟි කරන එක්සත් ජනපදය එය විග්‍රහ කළේ රුසියාවේ පහත් හැසිරීමක් ලෙසින්.