ක්‍රිස්ටිනා කුමරිය අධිකරණය හමුවට

Image copyright Getty
Image caption කුමරිය පිටුපස දොරටුවෙන් ඇතුල්වෙද්දී ගොඩනැගිල්ල අනෙක් පසින් විරෝධතාවක හඬ ඇසුණු බවයි පැවසෙන්නේ

ස්පාඤ්ඤයේ ජුආන් කාලෝස් රජුගේ බාල දියණිය වන ක්‍රිස්ටිනා කුමරිය වංචා චෝදනාවක් යටතේ මලෝකා හි විනිසුරුවරයෙක් විසින් ප්‍රශ්න කරනු ලැබ සිටී.

ස්පාඤ්ඤ ඉතිහාසයේ රාජකීය පවුලට අයත් වුවෙක් අධිකරණය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

ක්‍රිස්ටිනා කුමරිය අධිකරණ සංකීර්ණයේ පිටුපස දොරටුවෙන් දැඩි ආරක්ෂා සහිතව ඇතුල්වෙද්දී ගොඩනැගිල්ල අනෙක් පසින් විරෝධතාවක හඬ ඇසුණු බවයි පැවසෙන්නේ.

ඩොලර් මිලියන ගණනාවක මහජන මුදල් අයුතු ලෙස පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා යොදා ගත් බවට චෝදනා ලැබ සිටින ඇගේ ස්වාමියා විසින් කරන ලද මුදල් ගනුදෙනුවක් සම්බන්දවයි කුමරිය මෙසේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ.

ක්‍රිස්ටිනා කුමරිය හා ඇගේ ස්වාමියා යන දෙදෙනාම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එක අයෙක් වත් වරදකරු කර නැති බවයි වාර්තා වන්නේ.

එසේවුවද, දිගු කාලයක් තිස්සේ පැවැත්වෙමින් තිබෙන මෙම අධිකරණ ක්‍රියා දාමය හේතුවෙන් ස්පාඤ්ඤ රජ පවුලේ කීර්ති නාමයට හානි සිදුවන අතර රාජාණ්ඩුවට ඇති ජනතා සහය නැතිවී යා හැකි බවයි පැවසෙන්නේ.