රාජීව් ඝාතනය: 'ජයලලිතා නිදහස් කරාවි'

Image caption අභය දානය හිමි වීම අර්පුදම් අම්මාල් විසින් සමරන ලද්දේ මළ පුඩුවකට ගිනි තබමින්.

අභය දානය හිමි වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ මව කියා සිටියේ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා විසින් තම පුතා ඉක්මනින් නිදහස් කරනු ලබන බව විශ්වාස කරන බවයි.

ඇය මේ බව කියා සිටියේ රාජීව් ගාන්ධි ඝාතනය කුමන්ත්‍රණය කළ තිදෙනාට හිමි වී තිබූ මරණ දණ්ඩනය ලිහිල් කළ බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීමෙන් අනතුරුවයි.

“මට හරිම සන්තෝසයි. මරණ දණ්ඩනය වෙනස් කර ගන්න මම අවුරුදු 23ක් බලා හිටියා. ඒත් ළඟදී මගේ පුතා මිනී මැරුම ගැන මුකුත් දන්නේ නැහැයි කියලා පරීක්ෂණ පවත්වපු හිටපු පොලිස් නිලධාරී ත්‍යාගරාජන් ප්‍රකාශයක් ලබා දුන්නාට පස්සේ මම බලාපොරොත්තු වුනේ එයා හිරෙන් නිදහස් කරාවි කියලා. ඒකට කමක් නැහැ 2011 දී ඒ ගොල්ලන්ගේ ජීවිත බේරා දුන්නේ අපේ මහ ඇමතිනි ජයලලිතා මහත්මිය. දඬුවම වෙනස් කලාට පස්සේ කඩදාසි එන්නේ එතුමිය ගාවට. මට විශ්වාසයි එයා මගේ පුතාව ඉක්මනට නිදහස් කරාවි කියලා.” අර්පුදම් අම්මාල් ප්‍රකාශ කළාය.

තම පුත්‍රයා සහ අනෙක් දෙදෙනාට අභය දානය හිමි වීම අර්පුදම් අම්මාල් විසින් සමරන ලද්දේ මළ පුඩුවකට ගිනි තබමින්.

දෙමළ කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු අගමැති රාජීව් ගාන්ධි මරණයට පත් වූයේ වසර 1991 දීයි.

මෙම ඝාතනයට සැලසුම් කළ කොටි සංවිධානයේ සාමාජිකයන් තිදෙනා අභය දානය ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව තීරණය ලබා දුන්නේ වසර එකොළහක් ගත වීමෙන් පසුවයි.

වසර 1987 දී ශ්‍රී ලංකාවට ඉන්දීය සාම සාධක හමුදාව යැවීම සඳහා රාජීව් ගාන්ධි ගත් තීරණයට පලිගැනීමක් වශයෙන් ඔහු මරා දැමුණු බවයි විශ්වාස කෙරෙන්නේ.