කර්සායිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

Image copyright AP
Image caption 'ගතව ගිය වසරේ ආරක්ෂක හමුදාවලට එල්ල වූ දරුණුම ප්‍රහාර අතරින් එකක්'

තාලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා භටයන් විසි දෙනකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් කල් දැමීමට ඇෆ්ඝනිස්තානයේ ජනාධිපති හමීඩ් කර්සායි තීරණය කොට තිබේ.

කුනාර් ප්‍රාන්තයේ පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා මුරපොලකට කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරය ගතව ගිය වසරේ ආරක්ෂක හමුදාවලට එල්ල වූ දරුණුම ප්‍රහාර අතරින් එකක් බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

දේශීය සහ විදේශීය කැරලිකරුවන් සිය ගණනක් සෙනසුරාදා රාත්‍රියේ මුරපොල වටකොට ප්‍රහාර එල්ල කළ බව පවසන ඇෆ්ඝනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය, ඉන් අනතුරුව ඉරිදා උදෑසන දක්වා දෙපාර්ශවය අතර දැඩි සටන් පැවතුනු බවද සඳහන් කරයි.

'ශ්‍රී ලංකා සංචාරය'

දෙපාර්ශවය අතර හටගත් ගැටුමේදී එක් ප්‍රහාරකයකුවත් මරුමුවට පත් වී තිබෙන අතර, හමුදා භටයන් හත් දෙනකු අත් අඩංගුවට ගත් බව තාලිබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය. කෙසේ නමුත් හමුදා භටයන් හය දෙනකු අතුරුදහන්ව සිටින බවයි, ඇෆ්ඝන් බලධාරීන් පවසන්නේ.

ඇෆ්ඝන් හමුදාවට රහසිගතව රිංගා ගෙන සිටින තාලිබාන් සාමාජිකයන් ප්‍රහාරය සැලසුම් කිරීම පිණිස ආධාර කළා විය හැකි බවයි, කුනාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශුජා උල් මුල්ක් බීබීසී යට කියා සිටියේ.

ප්‍රහාරය හේතුවෙන් ඉරිදාට නියමිතව තිබුන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දැමීමට සිදුවන බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

"මෙම ශෝචනීය සිදුවීම පිළිබඳව ඇෆ්ඝන් ජනාධිපතිවරයා දැඩි කනගාටුවට පත්ව සිටින අතර, එබැවින් අදට නියමිතව තිබුන ශ්‍රී ලංකා සංචාරය ඔහු විසින් කල් දමනු ලැබ තිබේ," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.

ඇෆ්ඝනිස්තානයේ ජනාධිපතිවරණය ලබන මාසයේ පැවැත්වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර