රට බෙදීමේ සැලැස්මක් නැහැ - තායි රතු කමිස ව්‍යාපාරය

Image copyright Reuters
Image caption රතු කමිස ආධාර කරුවෝ

වෙනම ආණ්ඩුවක් පිහිටුවන මෙන් අගමැතිනි යින්ග්ලුක් සිනවත්ගෙන් ඉල්ලා සිටියත් රට දෙකඩ කිරීමේ සැලැස්මක් නැතැයි තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් කියා සිටියි.

තායිලන්ත රතු කමිස හමුදාවේ නායකයකු වන වෙන්ග් තොජිරකන් ප්‍රකාශයක් කරමින් තම ව්‍යාපාරයේ අරමුණු සහ ක්‍රියාමාර්ග යුදමය එකක් නොව දේශපාලන පදනමක් සහිත වූවක් වන බවයි කියා සිටින්නේ.

එසේම රට දෙකඩ කිරීමට සිය සංවිධානයේ ශක්තිය නො යෙදූ බවයි රතු කමිස නායකයා පවසන්නේ.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් සහ වෙඩි හුවමාරුවකින් අනතුරුව අගමැතිනි යින්ග්ලුක් සිනවත් අගනුවරින් පිටව ඇයගේ බල ප්‍රදේශයක් වන උතුරු තායිලන්තයට මේ සතියේ ගොස් සිටින බවත් වාර්තා වෙයි.

එම ගැටුම් වලදී පස් දෙනකු මරණයට පත් වූ බවත් ප්‍රකාශයට පත් කෙරිණ.

තායිලන්තයේ මුල් බැස ගත් ප්‍රභූ සමාජය, යුද හමුදාව සහ රටේ වෙනත් ප්‍රධාන ආයතන වලින් සහයෝගය දිනා ගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ මාස කීපයක් ම ආණ්ඩුවේ ආයතන වට ලා සිටිති.