බටහිර රටවල වගකීම් විරහිතයි-යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති

Image copyright AP

පසුගිය සති අන්තයේ කීව් අගනුවරින් පලා ගිය යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්තර් යනුකොවිච් අද ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

දකුණු රුසියාවේ රස්තොෆ් නගරයේදී ජනමාධ්‍ය හමුවක් අමතමින් කතා කළ ඔහු,රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් බලයෙන් පහ කළ බව ප්‍රකාශ කළේය.

'කවුරුවත් මාව පදවියෙන් පහ කළේ නැහැ. මගේ ජීවිතයට සහ මට සමීප අයගේ ජීවිතවලට තර්ජන එල්ල වුන නිසා මට යුක්රේනයෙන් යන්න සිද්ද වුනා. ඔබ දන්නා පරිදි, ජාතිකවාදී, ෆැසිස්ට් තරුණ පිරිසක් යුක්රේනයේ බලය අල්ල ගෙන ඉන්නවා. පැහැදිලිවම ඔවුන් රටේ ඉතා සුළුතරයක්' යැයි වික්තර් යනුකොවිච් කියා සිටියේය.

තමන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් යලිත් තමන් යුක්රේනයට යන බවයි,ඔහු පවසන්නේ.

බටහිර රටවල වගකීම් විරහිත ක්‍රියාදාමය යුක්රේනයේ අස්ථාවරභාවයට හේතුව බවයි, වික්තර් යනුකොවිච් කියා සිටින්නේ.

යුක්රේනයට කෙරෙන බාහිර අතපෙවීම්වලට තමන් විරුද්ධ නමුත් ක්‍රිමියානු අර්ධද්වීපයේ ජනතාව සිය ආරක්ෂාව පිණිස ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීම තමන්ට වැටහෙන බවද වික්තර් යනුකොවිච් ප්‍රකාශ කළේය.

වික්තර් යනුකොවිච් පුවත් පත් හමුව පැවැත්වීමට පෙර ප්‍රක්‍රිමියාවේ ගුවන් තොටුපොළ දෙකක් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලා ගත් අතර, එය රුසියාවේ සන්නද්ධ ආක්‍රමණයක් බවට යුක්රේන බලධාරීන් චෝදනා කළහ.

ඒ අතරින් එක් ගුවන් තොටුපොළක් හමුදා තොටුපොළක් වන අතර, ඒ හේතුවෙන් ගුවන් ගමනද අඩාල විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර