පිස්ටෝරියස් මෙයට පෙරත් වෙඩි තැබීමක් කරළා

Image copyright Reuters
Image caption සොරකු ලෙස සිතා වැරදීමකින් පෙම්වතියට වෙඩි තැබූ බව පිස්ටෝරියස් පවසයි

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ජොහැන්නස්බර්ග් නුවර ආපන ශාලාවකදීත් ඔස්කාර් පිස්ටෝරියස් විසින් වෙඩි තැබීමක් සිදු කළ බව ප්‍රිටෝරියා හි පැවැත්වෙන ඔහුගේ පෙම්වතිය ඝාතන නඩුවිභාගයේ සාක්ෂිකරුවකු ප්‍රකාශ කළේය.

අබාධිත ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩක පිස්ටෝරියස් එම චෝදනාවේ වැරැද්ද වංචනික ලෙස බාර ගැනීමට තම මිතුරකු යොදා ගත් බව එම සිදුවීම ඇසින් දුටු දකුණු අප්‍රිකානු බොක්සිං ක්‍රීඩක කෙවින් ලෙරෙනා ප්‍රකාශ කළේය.

ඔස්කාර් පිස්ටෝරියස් විසින් තම පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් වෙඩි තබා මරා දැමීම පිලිබඳව පැවැත්වෙන නඩු විභාගයේ තුන් වන දිනයේදී සාක්ෂි දෙමින් ලෙරෙනා වැඩිදුරටත් පැවසුවේ වෙඩි තබන මොහොතේදී ගිනි අවිය පතරොම් ඇතුළුකොට සක්‍රීයව තිබුණු බව පිස්ටෝරියස් දැන සිටි බවයි.

මෙම සිදුවීම වෙනුවෙන් පිස්ටෝරියස් වැරදිකරුවකු ලෙස චෝදනා නොලැබූ බවද සඳහන්.

පෙම්වතිය මරා දැමී යැයි නැගී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන පිස්ටෝරියස් සොරකු ලෙස සිතා වැරදීමකින් කළ වෙඩි තැබීමකින් ඇය මියගිය බව පවසයි.