ඉන්දීය මාඕවාදීහු පොලිස් භටයන් දහසයක් මරති

Image copyright AFP
Image caption චතිස්ගාර් ප්‍රාන්තය මාඕවාදීන්ගේ බල කොටුවක්

ඉන්දියාවේ මාඕවාදී කැරලිකරුවන් සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් භටයන් දහසය දෙනෙකු මරණයට පත් වූ බව ඉන්දීය පොලිසිය නිවේදනය කළේය.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ චතිස්ගාර් ප්‍රාන්තයේ සුක්මා දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීමේ යෙදී සිටි සේවකයන්ට ආරක්ෂාව සැපයීම සඳහා මුර සංචාරයේ යෙදී සිටි පොලිස් භට පිරිසකටයි.

ප්‍රහාරයට ගොදුරු වීමෙන් පොලිස් භටයන් විසි පස් දෙනෙකුට පමණ තුවාල සිදු වී ඇති බවද වාර්තා විය.

කැරලිකරුවන්ට තුවාල සිදුවී ඇත්ද යන්න තවමත් සනාත වී නැත.

චතිස්ගාර් ප්‍රාන්තය මාඕවාදීන්ගේ බල කොටුවක් වන අතර ඔවුන් කියා සිටින්නේ දිළිඳු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින බවයි.

මාඕවාදී කැරැල්ල ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාවට පවතින දරුණුතම තර්ජනය ලෙස සැලකෙයි.

පසුගිය මැයි මාසයේ දී මාඕවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ ප්‍රාන්ත දේශපාලනඥයන් ඇතුළු විසි හත් දෙනෙකු මරණයට පත් විය.

මාඕවාදී කැරැල්ල ඉන්දියාවේ ආරම්භ වුයේ 1960 දී බටහිර බෙන්ගාල ප්‍රාන්තයේදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර