G-7 රුසියාවට අනතුරු අඟවයි

Image copyright Getty
Image caption රුසියානු හමුදාව අගනුවර සමීපයට පැමිණ ඇති බව යුක්රේනය පවසයි

ක්‍රිමියාව අල්ලා ගැනීමේ සියලු ප්‍රයත්නයන් අත්හිටුවන ලෙසත් එසේ නැත්නම් ගනු ලබන ක්‍රියා මාර්ගයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දියුණු කාර්මික රටවල් හත රුසියාවට අනතුරු ඇඟවීමක් කරති.

ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියේ පැවැත්මට බලවත් අනතුරක් බවයි G7 කාර්මික බලවතුන්ගේ ප්‍රකාශනයක දැක්වෙන්නේ.

රුසියාවේ අනුග්‍රහයෙන් ලබන ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වෙන ජනමත විමසුමට නෛතික බලයක් නැති බව කියා සිටින G7 ප්‍රකාශනය එම ජනමත විමසුමේ ප්‍රතිපලය පිළි නොගන්නා බවත් කියා සිටී.

මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේනයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා සිය රටේ දේශසීමාව අවට හමුදාව තර කරමින් සිටින බවට අනතුරු ඇඟවීමක් කරයි.

රුසියානු හමුදාව කීව් අගනුවරට 'පැය දෙකක්, තුනක් දක්වා සමීපයට' පැමිණ ඇති බව පවසන අන්ද්‍රේයි පරුබියි ඕනෑම ප්‍රදේශයකින් එල්ල වන ප්‍රහාරයකට මුහුණදීම පිණිස යුක්රේන හමුදා සීරුවෙන් තබා තිබෙන බවද පවසයි.

යුක්රේනයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම පිණිස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී ලබන සිකුරාදා රුසියාවේ විදේශ අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතයි.