අලියා හඳුනයි මිනිසා

elephent Image copyright Reuters

අලින්ට මිනිස් කටහඬ තේරුම් ගත හැකි බව පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත.

මිනිස් කට හඬ ඇසුරෙන් ගැහුණ -පිරිමි- ළමා -කාන්තා සහ ජන වර්ග වෙන් කොට හදුනා ගැනීමේ හැකියාවක් අලින්ට ඇති බවයි,ජාතික විද්‍යා ආයතනය මගින් පළ කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී තිබෙන්නේ.

පටිගත කරන ලද විවිධ හඬ අලින්ට ඇසෙන්නට සැලැස්වූ විට අලින් එකිනෙකට වෙනස් ප්‍රතිචාර පළ කළ බවයි, කෙන්යාවේ දී වනගත අලින් සම්බන්ධයෙන් විමසුමක යෙදුන පර්යේෂකයින් කියා සිටින්නේ.

‘මසායි’ බසින් කෙරුණු පටිගත කිරීම් වලට අලින් බිය පළ කළ නමුත් එම පණිවුඩයම ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති.

ජීවන රටාව

පර්යේෂකයෝ ‘අර බලන්න බලන්න - අතන අලි රංචුවක්’යන පණිවිඩය ගැහැනු, පිරිමි සහ ළමා කට හඬවලින් ‘මසායි’ සහ ‘කම්බා’ බසින් පටිගත කොට ප්‍රචාරය කළහ.

සත්ව පාලනයේ යෙදෙන ‘ මසායි’ පුරුෂයන් මීට පෙර තම හරකුන් අලින් ගෙන් බේරා ගැනීම සඳහා අලින් මරා දමා ඇති හෙයින් අලින්ගෙන් බිය මුසු ප්‍රතිචාරයක් පළ වූ බවයි, පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ.

එකම පණිවුඩය ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති.

කම්බා බස කථා කරන පිරිස් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අතර ඔවුන්ගේ ජීවන රටාව අනුව අලින් හා ගැටෙන සුළු සිදුවීම් ඇති වෙන්නේ නැත.

පර්යේෂණය පැවැත්වූ බ්‍රිතාන්‍ය සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැරන් මැක්කොම්බ් සහ ආචාර්ය ග්‍රෙමි ෂනොන් කියා සිටියේ, තමන් මීට පෙර සිදු කළ පර්යේෂණ වලදී අලින්ටත් . වඩාත් දරුණු ලෙස හැසිරෙන සිංහයෙකුගේ සහ සිංහ ධේනුවකගේ හඬ වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් අලින්ට තිබෙන බව තමන්ට සනාථ වූ බවයි.