යානයේ ගමන් මග හිතාමතා වෙනස් කරලා - අගමැති රසාක්

Image copyright AFP
Image caption සතියකට පෙර යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි

චන්ද්‍රිකා සංඥා වලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තා වලට අනුව අතුරුදහන් වූ ගුවන් යානයේ ගමන් මගේ සිදුව ඇති වෙනස්කම් යානය තුල සිටි යමෙකු විසින් හිතා මතා සිදු කර ඇති බව මැලේසියානු අගමැති නජිබ් රසාක් පැවසීය.

MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතා මතාම අක්‍රීය කර ඇති බවත් ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසයි.

සතියකට පෙර යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි.

MH370 අබිරහස

මාර්තු අට වැනිදා අළුයම 00:40 (16:40 GMT) ක්වාලාලම්පූර් වෙතින් බෙයිජිං බලා පිටත්වූ යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී ගොස් ඇත්තේ අළුයම 01:20 ට පමණය.

“යානය මැලේසියාවේ නැගෙනහිර මුහුදු තීරයට ඉහලින් ඇති ගුවන් ප්‍රදේශයට ඇතුළුවීමට මොහොතකට පෙර ගුවන් යානා ඇමතීම් සහ වර්තාකිරීම් වලට අදාළ සන්නිවේදන පද්ධතිය ක්‍රියා විරහිතව තිබූ බවට ඉතා තද විශ්වාසයක් පවතිනවා” යනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක දී කරුණු දක්වමින් අගමැති රසාක් පැවසීය.

ACARS යනු ගුවන් යානය තුළ ඇති පරිගණක වලට භූමියේ ඇති පරිගණක සමග යානය සම්බන්ධ තොරතුරු සහ එහි ක්‍රියාකාරිත්වයේ දොස් නිදොස් බව පිළිබඳ ව සංවාදයේ යෙදීමට ඇති ක්‍රමවේදයකි.

මැලේසියාව සහ වියට්නාමය අතර ගුවන් යානා පාලන සීමාවට පැමිණීමෙන් මොහොතකට පසු යානයේ සංඥා හඳුනා ගන්නා ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර ඇතැයි ද අගමැතිවරයා පැවසීය.

හමුදා රේඩාර් දත්ත වලට අනුව ඊසාන දිශාවට පියාසර කිරීමට පෙර යානය ආපසු හරවා මැලේසියාව දෙසට ගමන් කර ඇත.

පිරික්සිය යුතු ප්‍රදේශ දෙකක්

සංඥා නිකුත්වන නිශ්චිත ස්ථානයක් නිගමනය කළ නොහැකි වුවත්, යානය අතුරුදහන් වීමෙන් පැය හතකට පසුවත්, එනම් උදෑසන 08:11 වනතුරුත් යානයෙන් නිකුත්වන සංඥා ග්‍රහණය කර ගැනීමට චන්ද්‍රිකාව සමත් වී ඇත.

යානයත් චන්ද්‍රිකාවත් අතර සිදුවූ අවසාන සංඥා හුවමාරුවට අදාළ මේ නව දත්ත හා පදනම්ව පරීක්ෂණ මෙහෙයවිය යුතු ප්‍රදේශ දෙකක් පිලිබඳ සලකා බැලිය හැකි බව පරීක්ෂකයෝ පවසති.

ඒ අනුව කසකස්තාන සීමාවේ සිට තුර්ක්මේනියාව ඔස්සේ උතුරු තායිලන්තය දෙසට ඇති උතුරු ප්‍රදේශය සහ ඉන්දුනීසියාවේ සිට දකුණු ඉන්දියානු මුහුද දෙසට වූ දකුණු ප්‍රදේශය එසේ පරීක්ෂණ මෙහෙයුම් සිදුවන නව ප්‍රදේශයි.

මේ නව තත්වයන් අනුව මැලේසියානු බලධාරීන් තම පරීක්ෂණ යානයේ කාර්ය මණ්ඩලය හා මගීන් දෙසට යොමු කර ඇති බව අගමැති රසාක් වැඩිදුරටත් පැවසීය.