තුන්වෙනි ලෝකයට අකුණු සැර වැඩියි

Image copyright SPL
Image caption ජනගහනය ද සාධකයක් වී ඇති බව මහාචාර්ය ප්‍රයිස් පවසයි

කාලගුණ විද්‍යාඥයින් පවසන ආකාරයට බොහෝ දියුණු වෙමින් පවතින රටවල අකුණු ගැසීම හා සම්බන්ධ සිදුවීම් ඉහල යමින් පවතින්නේ ඒ හේතුවෙන් මියයන හා තුවාල සිදුවන මිනිසුන්ගේ සංඛ්‍යාවද ඉහළ නංවමින්.

අකුණු වැදීම හේතුවෙන් අනතුරට පත්වූවන්ගේ සංඛ්‍යාව ගංවතුර, නියඟ හෝ නාය යාම් වැනි කාලගුණය හා සම්බන්ධ අනෙකුත් විපත්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාවට වඩා වැඩි බවයි, ඔවුන් පවසන්නේ.

දකුණු ආසියාවේ කාලගුණ විද්‍යාඥයින් සිතන්නේ අකුණු පිපිරීම් සංඛ්‍යාවේ වැඩි වීමක් පවතින බවයි.

නොසලකා හරින්න බැහැ

"ඔව්, අපි දකිනවා අකුණු ගැසීම් වල වැඩි වීමක්. මේක කුණාටුවක් වගේ විශාල විනාශකාරී දෙයක් නෙවෙයි. ඒත් අපට මේක නොසලකා හරින්න බැහැ. අකුණු ගැසීම පිළිබඳව අධ්‍යයනය කරන්න අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන," යනුවෙන් බංග්ලාදේශ් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශාම්සුදීන් අහමඩ් පැවසීය.

Image copyright Thinkstock
Image caption 'මේක කුණාටුවක් වගේ විශාල විනාශකාරී දෙයක් නෙවෙයි. ඒත් අපට මේක නොසලකා හරින්න බැහැ'

අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ විද්‍යාඥයින් මෙම අදහස පිළිගන්නා අතර බ්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ඔස්මාර් පින්ටෝ ද මෙය අනුමත කරයි.

බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වලද අකුණු ගැසීමේ මෙන්ම ඒ හේතුවෙන් සිදුවන අනතුරු වල වැඩිවීමක් ඇති බව ඔහුගේ මතයයි.

දියුණු වෙමින් පවතින ලෝකය තුළ අකුණු පිපිරීමෙන් සිදුවන අනතුරු හා ඒවායේ බලපෑම පිලිබඳව නිසි ලෙස වාර්තා නොවන්නේ පවතින ක්‍රමවේදයන්ගේ අවිධිමත් භාවය නිසා බවයි, එම රටවල කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවක්

පෘතුවි උෂ්ණත්වය ඉහළ යාමට අනුකුලව විදුලි කෙටීම සහ ගිගුරුම් සහිත කුණාටු තත්වයන් වැඩිවීම සිදුවිය හැකි බව ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති.

ටෙල් අවීව් විශ්වවිද්‍යාලයේ විදුලි කෙටීම සහ කාලගුණය පිළිබඳ ප්‍රමුඛ පෙළේ පර්යේෂකයෙකු වන මහාචාර්ය කොලින් ප්‍රයිස් පවසන ආකාරයට උෂ්ණත්වයේ එක් වැඩිවීමකට විදුලි කෙටීම 10% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

Image copyright
Image caption අකුණු වැදීම හේතුවෙන් අනතුරට පත්වූවන්ගේ සංඛ්‍යාව 'ගංවතුරෙන් අනතුරට පත්වූවන්ට වඩා වැඩියි'

ගණන් බලා ඇති ආකාරයට සෑම තත්පරයකදීම විදුලිය කෙටීම් සියයකට වඩා පෘතුවිය මත පතිත වන අතර එයින් 70% කට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ඝර්ම කලාපීය හා උප නිවර්තනික කලාපයන් වලයි.

“මධ්‍යම අප්‍රිකාවේ කොංගෝව, දකුණු අප්‍රිකාවේ ඇමේසන් කලාපය, ඉන්දුනීසියානු දුපත් සහ ගිනිකොණ දිග ආසියාවේ බෝර්නියෝ වැනි ප්‍රදේශ අයත් කලාපයට තමයි දැනට දියුණුවෙමින් පවතින රටවල් බොහොමයක් අයත්වී ඇත්තේ. ගිගුරුම් සහ විදුලි කෙටීම් සිදුවන වාර ගණන උපරිම වී ඇත්තේත් ඒ කලාප වලයි," යනුවෙන් මහාචාර්ය ප්‍රයිස් පවසයි.

ජනගහනය ද සාධකයක් වී ඇති බව මහාචාර්ය ප්‍රයිස් පවසයි. “පසුගිය වසරේදී අපි බිලියන හත පසුකළා. ඒ කියන්නෙ අකුණු වදින්න පුළුවන් මිනිස්සු ගණනත් වැඩිවෙලා,” යැයි මහාචාර්ය ප්‍රයිස් වැඩිදුරටත් පවසයි.

සාධක නැහැ

එහෙත් සියලු විද්‍යාඥයෝ මෙය අනුමත නොකරති.අකුණු ගැසීම් සංඛ්‍යාව හෝ එමගින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ නගින බවට සාධක ඔවූහු නොදකිති.

ලෝකය පුරා පිහිටුවා ඇති විදුලි කෙටීම් නිරීක්ෂණ මධ්‍යස්ථාන 80 ක ප්‍රධානියා ලෙස කටයුතු කරන වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබර්ට් හොල්ස්වර්ත් පවසන්නේ එලෙස සනාථ වීමක් පවතින දත්තයන් ගෙන් සිදු නොවන බවයි.

“පසුගිය අවුරුදු කිහිපයක කාලය තුළ සිදුවූ ගිගුරුම් කුණාටු සංඛ්‍යාව ස්ථාවර මට්ටමක පවතින බවයි අපි සොයාගෙන තියෙන්නෙ. සමහර විට ක්ෂණිකව සිදුවන අස්ථාවර වීම නැතුව නෙවෙයි. අපේ මධ්‍යස්ථාන ජාලය මගින් නිරීක්ෂණය කෙරෙන විදුලි කෙටීම් සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. ඒ අපි වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන නිසා මිසක් විදුලි කෙටීම් වැඩිවන නිසා නෙවෙයි,” යනුවෙන් මහාචාර්ය හොල්ස්වර්ත් පවසයි.

දේශපාලනීකරණය වෙලා

දේශපාලඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර විෂයානුබද්ධ සහයෝගයක් නැති බවද විශේෂඥයෝ පෙන්වා දෙති.

“කාලගුණික විනාශයකදී එකම මොහොතක දී විශාල පිරිසකට ඒ මගින් බල පෑමක් සිදුවන නිසා ඔවුන් ඉක්මන් ප්‍රතිචාර දක්වනවා," යනුවෙන් යැයි නොබැඳි සහ අනිකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල විද්‍යා හා තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය අරුන් කුලශ්‍රේස්ත පවසයි.

"විදුලි කෙටීම් වලින් අනතුරට පත් මුළු සංඛ්‍යාව අනිකුත් විපත් මගින් අනතුරට පත් සංඛ්‍යාවට වඩා වැඩි වෙන්න පුළුවන්. එත් හැමතිස්සෙම ඒවා එකක් හෝ දෙකක් ලෙසට ව්‍යාජ ලෙස වාර්තා වෙනවා. දේශපාලනඥ යන්ට අවශ්‍ය ඔවුන්ගේ තත්වය රැක ගැනීමයි රජය නොපෙරලී තිබීමයි විතරයි."

බීබීසීයේ පරිසර කටයුතු පිලිබඳ වාර්තාකරු නවීන් සිං කඩ්කාගේ විමසුමක සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි, මේ.