ජාතික ගීය ගයා ලෝක වාර්තාවක්

Image copyright bbc
Image caption 254,000 කට වැඩි පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට එක් වී සිටියහ

ජාතික ගීය එක් වර ගායනා කරන විශාලතම පිරිස ලෙස ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත බංග්ලාදේශවාසී ජනතාව සිය හතලිස් තුන් වැනි ජාතික දිනය සැමරූහ.

254,000 කට වැඩි බංග්ලාදේශවාසීන් පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට එක් වී සිටියහ.

Image copyright bbc
Image caption අගමැතිනි ෂෙයික් හසීනාද උත්සවයට එක් වී සිටියාය

'සෝනාර් බංග්ලා ගීතය දහසක් හඬින්' යනුවෙනුයි, උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව හඳුන්වා දී තිබුනේ.

අගනුවර ජාතික උද්‍යානයේ පැවැත්වුණු උත්සවයට ඇමතිවරු, මන්ත්‍රීවරු සහ හමුදා නිලධාරීහු සමඟ අගමැතිනි ෂෙයික් හසීනාද එක් වී සිටියහ.

වාර්තාවට වඩා නිදහස් දිනය සැමරීම වැදගත් බවයි නිදහස් උළෙලට එක් වූ පුද්ගලයෙක් කියා සිටියේ.

"ගිනස් වාර්තාවක් බිහි කරන ඒතරම් වැදගත් නෑ. වැදගත් කොච්චර විශාල සෙනගක් නිදහස් දවසේ මේකට එකතු වුනාද කියන එක. සේරම නරක දේවල් අමතක කරලා දාල, නිදහසේ ප්‍රීතිය විඳින්න අපිට අවස්ථාව ලැබේවි කියල අපි බලාපොරොත්තු වනවා," බවයි, ඔහු පවසන්නේ.

ඉන්දීය ජාතික ගීය එකවර ගායනා කිරීම පිණිස 121, 653 දෙනකු, පසුගිය වසරේ මැයි 6 වැනිදා එක් ස්ථානයකට රැස් කරමින් ඉන්දියාවේ සහරා ඉන්දියා පරිවාර් සමාගම් සමූහය ගිනස් ලෝක වාර්තා පොතට එක් විය.

එම වාර්තාව බිඳ දැමීමටයි බංග්ලාදේශය උත්සාහ දැරුවේ.

Image copyright bbc
Image caption 'මුළු රට පුරාම ඉඳල , විවිධ ජන කණ්ඩායම් අද මේකට එකතු වනවා'

නිදහස් උළෙල පැවති ක්‍රීඩාංගනයට ඇතුළු වන ජනතාව යන්ත්‍රයකින් ගණන් කෙරුණු අතර, එය නිරීක්ෂණයට මුරකරුවන් යොදවා තිබුණි.

ලෝක වාර්තා ප්‍රයත්නය පිළිබඳව අදහස් පළ කරන බංග්ලාදේශයේ සංස්කෘතික ඇමති සංකර් අසාදුස්සමන් පැවසුවේ ලක්ෂ තුනක පමණ පිරිසක් මීට සහභාගී වී ඇති බවයි.

"දෙලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් මැෂින් ඒකෙන් ගණන් කරලා තිබුන. ඒත් සෙනග දරා ගන්න බැරිව සමහර මැෂින් මුලදීම කැඩිලා ගියා. ඒ නිසා මේකට ලක්ෂ තුනකට වැඩි පිරිසක් සහභාගි වෙන්න ඇතියි කියන එක තමයි මගේ හැඟීම. මම හිතන්නේ අපි ලෝක වාර්තාව බිහි කළා ඒත් වඩාත් වැදගත් වෙන්නේ නිදහසේ උද්දාමයෙන් කුල්මත් වෙන්නත් අනාගමිකභාවය ගැනත් ජනතාව උනන්දු කරන්න හැකි වීම," යනුවෙන් ඔහු කියා සිටියේය.