බාර්බේඩොස් හි මරණ දඬුවම ඉවතට ?

Image copyright BBC World Service
Image caption බොහෝ දෙනෙකුගේ විරෝධය අපේක්ෂා කරන බව නීතිපති එඩ්රියෙල් බාත්වයිට් පවසයි

මිනී මැරීමේ වරදට අනිවාර්යයෙන් ම මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමේ නීතිය වෙනස් කිරීමට අදාළ සැලසුම් බාර්බේඩොස් ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබ ඇත.

එම සැලසුම් වලට බොහෝ රටවැසියන්ගේ විරෝධය එල්ල විය හැකි බවයි නීතිපති එඩ්රියෙල් බාත්වයිට් (Adriel Barthwaite) පවසන්නේ.

මරණීය දඬුවම නීතිගතවී තිබුණද 1984 සිට බාර්බේඩොස් රජය එය ක්‍රියාත්මක කර නැත.

මරණ දඬුවම කටුක සහ ජාත්‍යන්තර නීතිය උල්ලංගණය කරන්නක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

යෝජනාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මත්තෙන් ප්‍රබල ජනතා සංවාදයකට යොමු කරන බව නීතිපති බාත්වයිට් පවසයි.

‘’මිනීමැරුමක් සිදුකල විට තමාද ජීවිතය විනාශ කරගත් බවට බාර්බඩෝස් ජනතාවගේ සාමාන්‍ය හැඟීම’’ බව ඔහුගේ අදහසයි.

‘’මම දන්නවා මේක යුද්ධයක් වෙයි කියල….මෙය රටට සුදුසු මගක් කියල මම විශ්වාස කරනවා’’ යනුවෙන් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ඉංග්‍රීසි බස කතා කරන බොහෝ කැරීබියානු රාජ්‍යයයන් මරණ දඬුවම පිළිගෙන ඇති නමුත් මේ කලාපයේ නීත්‍යනුකුලව ක්‍රියාත්මකවීම විරලය.

2008දී ශාන්ත කිට්ස් සහ නෙවිස් හි මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

බහමාස් හි එම දඬුවම ක්‍රියාත්මක කර තිබෙන්නේ වසර 2000දී ය.

ප්‍රංශ,ඕලන්ද සහ බ්‍රිතාන්‍ය පාලනයේ පවතින කැරීබියානු දේශයන්හි මරණ දඬුවම තහනම් කර ඇත.