'දින සියයකින් එක සරණාගතයෙක් වත් නැහැ'

Image copyright AFP
Image caption කොපමණ බෝට්ටු සංඛ්‍යාවක් ආපසු හරවා යැව්වේද යන්න පිළිබඳව කිසිවක් කියා නැහැ

අනවසර සංක්‍රමණිකයන් තම රටට පැමිණීම වැළැක්වීමට රජය ගෙන යන වැඩ පිළිවෙල සාර්ථක වී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසීය.

සරණාගතයන් රැගත් අවසන් බෝට්ටුව ඕස්ට්‍රේලියා වෙරළට පැමිණ දින සියයක් ගතවී ඇති බව පවසන අගමැති ටෝනි ඇබට්, මේ මගින් පෙනී යන්නේ නීත්‍යනුකුල නොවන සංක්‍රමණිකයන් මැඩලීම පිණිස තම රජය ක්‍රියාවට නැංවූ දැඩි නීති රීති වල සාර්ථක භාවය යැයි ද අවධාරණය කළේය.

හමුදාවෙන් අතවර

කෙසේ වුවද මෙම දින සියයේ කාලය තුල කොපමණ බෝට්ටු සංඛ්‍යාවක් ආපසු හරවා යැව්වේද යන්න පිළිබඳව තොරතුරු හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි පැවසෙන්නේ.

ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සරණාගතයන් රැගත් බෝට්ටු කිහිපයක් ඉන්දුනීසියානු මුහුදු සීමාව වෙත ආපසු ඇදගෙන ගොස් ඇති බවයි.

දැනටමත් ඕස්ට්‍රේලියාවට ඇතුලුවී වී සිටින සරණාගතයන්ට එරට නාවික හමුදා සාමාජිකයන් අතින් අකටයුතුකම් සිදුවන බවට නැගී ඇති චෝදනා ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, රැඳවියකු ගේ මරණයක් සම්බන්ධයෙන් පැපුවා නිව්ගිනියාවේ පොලීසිය ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව කිසිවක් පැවසීම ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු පිලිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර