‘යුක්රේනයට හමුදා යවන්නේ නැහැ’- ලව්රොෆ්

යුක්‍රේනයට සන්නද්ධ හමුදා යැවීමේ බලාපොරොත්තුවක් රුසියාවට නැතැයි රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් කියා සිටියි.

රුසියාවේ රුපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් විදේශ ඇමතිවරයා පැවසුවේ දේශපාලනික, රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය ආදී යොදා ගත හැකි සියලුම උපක්‍රම උපයෝගී කර ගනිමින් යුක්‍රේනවාසී රුසියානු ජනතා අයිතිය සුරැකීමට මොස්කව් පාලනය සුදානම් බවයි.

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පැවති දීර්ඝ දුරකථන සංවාදයකින් පසුවයි, විදේශ ඇමති ලව්රොෆ් එම ප්‍රකාශය කළේ.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදයේදී ඔවුන් යුක්‍රේන් ප්‍රශ්ණය විසඳීම පිණිස ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් පිළිබඳව සාකච්ඡා කල බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියාවේ විදේශ ඇමති ලව්රොෆ් අතර සාකච්ඡාවක් හෙට ඉරිදා පැරිස් නගරයේදී ආරම්භ වීමට නියමිතයි.

යුක්‍රේන් දේශ සීමාවේ රුසියාවේ යුද බලය තර කරනු ලැබීම නතර කරන මෙන් සහ ක්‍රිමියාවේ රඳවා සිටින රුසියානු හමුදා එම භූමියෙන් ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා සිටින ඇමෙරිකාවේ ද සහයෝගය ලැබෙන සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි එම හමුව සිදු වන්නේ.