නව සංඥා සමඟ MH 370 සෝදිසි මෙහෙයුම පෙරට

Image copyright bbc

ගුවන් යානයක කළු පෙට්ටියේ තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍ර මගින් දිගින් දිගටම නිකුත් කෙරුණ සංඥා නාද තම රටේ නැවකට හසුව ඇතැයි, MH 370 අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම භාර ඕස්ට්‍රේලියානු සම්බන්ධීකාරක නිලධාරියා පවසයි.

සෝදිසි මෙහෙයුම තුළ මෙතෙක් ලද අපේක්ෂාවක් තැබිය හැකි ඉදිරියට යාම එම සංඥා සොයා ගැනීම වන බවයි, ඇන්ගුස් හූස්ටන් නම් එම ඕස්ට්‍රේලියානු නිලධාරියා පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළින් කිලෝ මීටර් දහස් ගණනක් ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ දකුණු කලාපයෙහි සෝදිසි මෙහෙයුමේ නිරත කර තිබුණ ‘ඕෂන් ෂීල්ඩ්’ නැවට ඉහත කී සංඥා දැනී ඇති බවයි, ඇන්ගුස් හූස්ටන් සඳහන් කළේ.

‘ඕෂන් ෂීල්ඩ්’ නැවට තොරතුරු

එහෙත් එම සංඥාවන් MH 370 අතුරුදහන් මැලේසියානු ගුවන් යානයෙන් නිකුත් කෙරුණ ඒවාද යන්න තහවුරු කර ගැනීමට තවත් දවස් කීපයක් ගත විය හැකි බවත් ඕස්ට්‍රේලියානු සම්බන්ධීකාරක නිලධාරියා කියා සිටියි.

මෙවැනි සංඥා ලැබීමක් ගැන මෙයින් පෙර චීන නැවකින් ද තොරතුරු ලැබී තිබුණි.

‘පර්ත්’ නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ගෙන එමින් කියා සිටියේ, අතුරුදහන් ගුවන් යානය සෙවීම සඳහා ගෙන යමින් පවතින මාසයකටත් අධික සෝදිසි මෙහෙයුමෙහි මෙතෙක් බලා සිටි පෙරට යාම මෙම සොයා ගැනීම විය හැකි බවයි.

අතුරු දහන් ගුවන් යානයේ තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍රවල බැටරි ආයු කාලය ඉකුත් වීමට ආසන්න තත්වයක් පවතින හෙයින් ගවේෂණ මෙහෙයුම කාලය සමඟ පොර බැදීමේ තත්වයකට පත්ව ඇත.

MH 370 ගුවන් යානයේ සුංබුන් කිසිවක් මෙතෙක් හමු වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර