ඉන්දීය මැතිවරණයේ දෙවන අදියර ආරම්භ කෙරෙයි

Image copyright AFP

ඉන්දියානු මහ මැතිවරණයේ දෙවැනි අදියරේ ඡන්ද විමසීම් ආරම්භ කෙරිණ.

නාගලන්ත, මනිපූර්, අරුනාචල් ප්‍රදේශ් සහ මේඝාලයා යන ඊශාන දිග ඉන්දියාවේ ප්‍රාන්ත හතරේ මැතිවරණ කටයුතුයි මෙම දෙවැනි අදියරට අයත් වන්නේ.

එම ප්‍රාන්ත හතරේ ඡන්ද කොට්ඨාශ හයක ඡන්දදායකයන් අද බදාදා සිය ඡන්ද පාවිච්චි කළ බව වාර්තා වෙයි.

මේ සතියේ සඳුදා ආරම්භ කෙරුණ අදියර නවයකින් සමන්විත මෙවර ඉන්දීය මහ මැතිවරණය නිම වන්නේ මැයි මාසයේ දොළොස් වෙනි දිනයි.

මාඕවාදී විරෝධය

මෙම මහ මැතිවරණයේදී පාලක කොංග්‍රස් පක්‍ෂය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල කෙරෙන දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවයි, ඉන්දීය මැතිවරණ වාර්තා මගින් පැවසෙන්නේ.

මධ්‍යම ඉන්දියාවේ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ දී යුද හමුදා සෙබළුන් සහ මාඕවාදී කැරලිකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී සොල්දාදුවන් තුන් දෙනකු මරා දමනු ලැබීමේ පුවතක් ද මේ අතර වාර්තා වෙයි.

එම ගැටුම සිදුව තිබෙන්නේ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ ඡන්දය විමසීම ආරම්භ කරනු ලැබීමට දවසක් තිබියදී.

ඉන්දීය මාඕවාදීන් කියා සිටින්නේ මැතිවරණය වර්ජනය කරන ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර