මාස නමයේ බිලිඳා මිනී මැරුම් නඩුවෙන් නිදහස්

Image copyright GEO TV

මාස නමයක් වයසැති බිලිඳකුට එරෙහිව මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඉදරිපත් කර තිබුණ චෝදනා උසාවියක් ඉදිරියේ දී ඉවත් කර ගනු ලැබුණ බව පකිස්තානයෙන් වාර්තා වෙයි.

එම බිලිඳා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තවත් දොළොස් දෙනකුට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉදිරිපත් කොට තිබුණි.

මුසා ඛාන් නමැති බිලිඳාගේ වයස ද නොතකා ඔහු අද සෙනසුරාදා දෙවන වතාවටත් උසාවියට ඉදිරිපත් කෙරුණ බවයි වාර්තා වන්නේ.

විදුලි බලය සහ ගෑස් සැපයුමට අදාළ ගැටුමකදී පොලිස් නිලධාරීන් මරා දැමීමට තැත් කරන ලද බවටයි, මුසා ඛාන් බිලිඳා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.

බලශක්ති ගැටුමක්

බිලිඳා චෝදනා වලින් මුදා හළ උසාවියේ විනිසකරු, මෙවැනි නඩුකර යළිත් අධිකරණය ඉදිරියට ගෙන නොඑන මෙන් නියෝග කර ඇති බවත් වාර්තා වෙයි.

එහෙත් ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ට එරෙහි චෝදනා විභාගයට ගැනීමට නියමිතයි.

මුසා ඛාන් බිලිඳා පළමු දිනයේ උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔහුගේ ඇඟිලි සළකුණු ගනිද්දී අඬන්නට පටන් ගත් නමුත් එදා මෙන් නොව ඔහු අද දිනයේ උසාවියේදී සංසුන්ව සිටි බවයි බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.