ලෝක ශූරතාවය ඉදිරියේ බ්‍රසීලයේ ගැටුම්

Image copyright AFP

තවත් මාස දෙකකටත් වඩා අඩු කාල සීමාවක් ඇතුළත ලෝක පාපන්දු ශූරතා තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබියදී ‘රියෝ ඩි ජනේරියෝ’ අග නගරයෙහි ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් පුපුරා ගිය බව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

වෙඩි තබනු ලැබීමෙන් එක් පුද්ගලයකු මරා දමනු ලැබ ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි.

පොලිසිය සහ පැල්පත් වාසීන් අතර ගැටුම ආරම්භ වීමට හේතු වී තිබෙන්නේ ප්‍රදේශයේ වැසියකු මරා දමනු ලැබීමේ සිද්ධියකි.

මත් ද්‍රව්‍ය කල්ලියක සාමාජිකයකු හැටියට වැරදි හඳුනා ගැනීමකින් පොලිසිය එම පුද්ගලයාට පහර දී මරා දමා ඇති බවයි, ඔහුගේ පවුලේ නෑදෑයන් පවසන්නේ.

පොලිසියට ප්‍රහාර

Image copyright AP

ඉන් අනතුරුව අසල්වැසි ‘ෆවෙලා’(favela)කලාපයෙන් පැමිණි විරෝධතාවාදීන් මෝටර් රථ වලට සහ ටයර් යොදා තැනුණ මාර්ග බාධක වලට ගිනි තැබීම නිසා ‘කොපකබානා’(Copacabana) නම් සංචාරක කලාපයේ ප්‍රධාන වීදි වසා දැමීමට සිදු වුණි.

මරා දැමුණ තැනැත්තා ජීවත් වූ පැල්පත් කලාපයට පිවිසෙන මාර්ගය ඉදිරියේ රැස් ව සිටින විශාල කණ්ඩායමක් මරණයට හේතුව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණය කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.

‘ෆාවෙලා’(favela) කලාපය අභ්‍යන්තරයේ පිහිටි ප්‍රධාන පොලිසිය ප්‍රහාරයට ලක්ව ඇති අතර, සිද්ධිය වූ ස්ථානය අවට අධිසන්නද්ධ පොලිස් සේනාංක කීපයක් ම නිරත කොට ඇත.