'රනා ප්ලාසා' සංවත්සරය නිමිත්තෙන් විරෝධතා

Image copyright Reuters

බංග්ලාදේශයේ ඩකා අගනුවරට රැස්වූ දහසකට අධික ජනකායක් අද වීදි බැස විරෝධතා ව්‍යාපාරයකට එක් වූහ.

එම විරෝධතාව පැවැත්වුනේ සේවකයන් එක්දහස් එකසිය දෙනකුට අධික සංඛ්‍යාවක ගේ ජීවිත අහිමි කල රනා ප්ලාසා ඇඟලුම් කම්හල් සංකීර්ණය කඩා වැටීමේ පළමු සංවත්සරය නිමිත්තෙන්.

මිය ගිය සමහර සේවකයන් තවමත් හඳුනාගෙන නැති බවටයි වාර්තා වන්නේ.

අයිතිකරුට මරණ දඬුවම

විරෝධතාකරුවන් අතර අනතුරෙන් තුවාල ලැබූ පිරිස් ද සිටි අතර ඔවුන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කියා සිටියේ ප්ලාසා කර්මාන්ත සංකීර්ණයේ අයිතිකරුට මරණ දඬුවම පැමිණ විය යුතු බවයි.

අනතුරට පත්වූවන්ට සහ මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හට වන්දි ලබා දෙන ලෙසට බටහිර රටවල ඇඟලුම් කම්හල් සමාගම්වලට සහ වෙළෙඳ සමාගම්වලට යළිත් බලපෑම් එල්ලවී තිබේ.

වන්දි ලබා දීම් සඳහා පිහිටුවා ඇති මිලියන හතලිහක අරමුදලට එම සමාගම් විසින් ලබා දී ඇත්තේ මිලියන පහළොවක් පමණි.

ආරක්ෂණ ප්‍රමිතීන්

රනා ප්ලාසා ඇඟලුම් කම්හල් සංකීර්ණයේ අනතුරේ ප්‍රතිඵලයක් වශයෙන් බංග්ලාදේශ කර්මාන්තශාලා හාරදහසක් සඳහා වන ආරක්ෂණ ප්‍රමිතීන් ඇතුලත් ජාත්‍යන්තර ගිවිසුමකටද අත්සන් තැබිණ.

මේ අනුව එම සමාගම්වලින් හතරෙන් එකක් පමණක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර ප්‍රමිතියෙන් අසමත් තවත් සමහරක් කර්මාන්තශාලා වසා දමා ඇත.

මේ නිසා දහස් ගණනකට රැකියා අහිමි වී ගොස් තිබේ.