රජීව් ඝාතන නඩුවේ චූදිතයන් දිගටම සිර භාරයේ

Image copyright AFP

රජීව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිත සිරකරුවන් මුදා හරිනු ලැබීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ කාර්යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද සිකුරාදා තීන්දු කළේය.

එම ව්‍යවස්ථා අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන තෙක් චූදිත සිරකරුවන් දිගටම බන්ධනාගාර ගත කර තබන බවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ.

අගවිනිසුරු පී.සතාසිවම් ගේ ප්‍රධානත්වයෙන් සැදුම් ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉන්දීය වේලාවෙන් අද, සිකුරාදා උදෑසන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිර දඬුවමක් හැටියට ළිහිල් කිරීමෙන් අනතුරුව චූදිතයන්ට සමාව දී නිදහස් කරනු ලැබීම මගින් ඔවුන්ට වැඩිදුර සහන ලබා දිය හැකිද යන්න ඇතුළු ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් පංච පුද්ගල ව්‍යවස්ථා අධිකරණය මණ්ඩලය විසින් පිළිතුරු සැපයිය යුතුව ඇති බවයි.

ව්‍යවස්ථා අධිකරණයකට

දණ්ඩ නීති සංග්‍රහය යටතට වැටෙන අපරාධ සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරුවන් යයි තීන්දු කෙරුණ පුද්ගලයන්ට සමාව දී මුදා හරිනු ලැබීම සඳහා බලය පැවරෙන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවටද ,එසේ නැත්නම්,ප්‍රාන්ත ආණ්ඩුවට ද යන්නත් ව්‍යවස්ථා අධිකරණ මණ්ඩලය විසින් තීන්දු කළ යුතුව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියි.

Image copyright AP
Image caption රජිව් ඝාන්ධි ඝාතන නඩුවේ චූදිතයන් කීප දෙනෙක්

හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කෙරුණේ,1991 මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වෙමින් සිටියදී.

1991 මැයි මස විසිඑක් වෙනි දින තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර අසළ පිහිටි ශ්‍රී පෙරුම්පුදුර් නගරයේ මැතිවරණ රැළියකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේයි, බෝම්බ ප්‍රහාරයක් මගින් එම ඝාතනය සිදු කෙරුණේ.

කොටි සංවිධානය

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ත්‍රස්ත සහ විනාශකාරී ක්‍රියා වැළැක්වීමේ පනත (POTA) යටතේ විශේෂ අධිකරණයක් ඉදිරියේ නඩු පවරනු ලැබුණ අතර එම අධිකරණය විසින් විත්තිකරුවන් විසි හය දෙනාම ඔවුන්ට එරෙහි චෝදනාවන්ට වැරදි කරුවන් කරනු ලැබ 1998 ජනවාරි මාසයේ දී මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබුණි.

Image copyright Photo Sena Vidanagama
Image caption රජිව්ට ශ්‍රී ලංකාවේදී ප්‍රහාරයක්

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කෙරුණ අභියාචනයක දී චූදිතයන් සිව් දෙනකු පමණක් මරණීය දණ්ඩනයට යටත් කෙරුණි.

රජිව් ගාන්ධි ඝාතනය ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැලසුමක් වූ බවයි, අධිකරණය ඉදිරියේ හෙළිදරව් කෙරුණ සාක්ෂි මගින් ප්‍රකාශ වුණේ.

මරණීය දණ්ඩනය වෙනස් කොට ජීවිතාන්ත සිර දඬුවමක් ගෙවමින් සිටි චූදිතයන් මුදා හැරීමට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් පසුගිය දා තීන්දු කිරීමත් සමඟ ඉන්දීය මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වූ අතර, එම තත්වය හේතු කර ගෙනයි යළිත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර