මගී හැසිරීමකින් ගුවන් ගමනක් අඩාල වෙයි

Image copyright AFP

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ සිට පියාසර කරමින් තිබුණ ගුවන් යානයක ආරක්‍ෂාවට හානිකර ආකාරයට හැසිරුණ මගියෙක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එම ගුවන් මගියා විසින් යානය ප්‍රාණ ඇපයට ගනු ලැබ ඇති බවයි, ඉන්දුනීසියානු යුද හමුදාවෙන් ලද පළමු වාර්තා මගින් පැවසුණේ.

ප්‍රශ්නයට මැදි වූ යානය අයත් ‘වර්ජින් ඕස්ට්‍රේලියා’ ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, බීමත් ගුවන් මගියකු නියමු කුටියේ දොරට පහර දී ඇති අතර පසුව ඔහු පාලනය යටතට ගත් බවයි.

යානය ප්‍රාණ ඇපයට ගනු ලැබුණ බවට පළ වූ වාර්තා තේරුම් ගත නොහැකි බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

ඉන්දුනීසියාවේ ‘බාලි’දූපතේ ගුවන්තොටුපොළට යානය ගොඩ බැස්වීමෙන් අනතුරුව, යුද හමුදාව විසින් මගීන් සහ කාර්ය මණ්ඩලය සුරක්ෂිතව ඉවත් කර ගනු ලැබුණ බවයි වාර්තා වන්නේ.