රුසියාවේ මැයි පෙළපාලි-තුර්කියේ කඳුළු ගෑස්

Image copyright AP
Image caption රුසියානුවන් තුල ජාත්‍යාලය පිලිබඳ නව රැල්ලක් නැගෙමින් පවතින බවයි පැවසෙන්නේ

ලක්ෂයකට අධික රුසියානුවෝ මොස්කව් රතු චතුරශ්‍රයේ පැවැත්වුණු මැයි දින පෙළපාළියට එක වී සිටියහ.

මෙම සම්ප්‍රදාය අවසන් වරට දක්නට ලැබුණේ 1991 සෝවියට් දේශයේ කඩා වැටීමට පෙරයි.

වර්තමාන රුසියානු පාලක පක්ෂයේ සාමාජිකයන් සහ වෘත්තීය සමිති නායකයන් පෙළපාළියේ එක්ව ගමන් කරනු දක්නට ලැබිණි.

“පුතින් නිවැරදියි”

එසේ ගමන් ගත් ඇතැමුන් සෝවියට් ධජය වනමින් ගමන් කළ අතර ඇතැම් බැනරයන් මත ලියා තිබුණේ “පුතින් නිවැරදියි” යනුවෙනි.

සෝවියට් දින දර්ශනයේ මැයි දිනයට ලැබී තිබුණේ සුවිශේෂී ස්ථානයකි.

රුසියානු නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ඇලෙක්සැන්ඩර් ශර්ෂුකොව් විසින් මෙවර මැයි රැළිය හඳුන්වා දී තිබුණේ පැසිස්ට් විරෝධී උත්සවයක් ලෙසින්.

අසල වැසි යුක්රේනය හා සම්බන්ධ ගැටළුව හේතුවෙන් රුසියානුවන් තුල ජාත්‍යාලය පිලිබඳ නව රැල්ලක් නැගෙමින් පවතින බවයි පැවසෙන්නේ.

තුර්කිය වීදි බසී

මේ අතර තුර්කියේ ඉස්තාම්බුල් හි තස්කීම් චතුරශ්‍රයේ මැයි රැළි පැවැත්වීම තහනම් කිරීමට විරෝධය පළ කළ පිරිස් විසුරුවා හැරීම සඳහා එරට කැරළි මර්දන පොලීසිය කඳුළු වායුව හා ජල ප්‍රහාර එල්ල කළේය.

ගල් කැබලි හා ගිනි බෝම්බ විසි කරමින් විරෝධතාකරුවන් පොලීසිය ඉක්මවා යාමට උත්සහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන දේශීය මාධ්‍ය මගින් විකාශනය කෙරිණි.

දහස් ගණනින් මිනිසුන් නගරය පුරා එක්රැස් වෙමින් සිටි බවයි වර්තාවුයේ.

බලධාරීන් විසින් දහස් ගණනක් පොලිස් නිලධාරීන් සේවයේ යොදවා ඇති අතර ඇතැම් පොදු ප්‍රවාහන සේවාවන් නවතා දමා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර