බැලුනයේ පාවී උඩු ගුවනේදී අතිනත ගෙන

Image copyright AFP

උඩු ගුවනේ උණුසුම් බැලූනයක පාවෙමින් සිදු කෙරුණ විවාහ මඟුලක් ගැන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

‘අයිස් ඉන්වෙන්ට්ස්’ ආයතනයේ කළමනාකරු, අරුන් සෙල්වරාජන් පවසන්නේ, මෙය ආරම්භයක් පමණක් වන බවයි.

‘’අලුතෙන් මොනවා හරි කරන්න ඕන කියල මිනිස්සු හිතනවා.උණුසුම් වායු බැලූනයක අපි පැවැත්වූ පළමු විවාහ උත්සවය මෙයයි” අරුන් සෙල්වරාජන් පවසයි.

වායු බැලූනය අඩි දෙසීයක් පමණ ගුවනේ ඉහල ගිය විට ‘ජෙයිමාලා’ හෙවත් ‘වර්මාලා’යනුවෙන් හඳුන්වන උතුරු ඉන්දීය චාරිත්‍රය අනුව මනාල යුවළ මංගල මාල හුවමාරු කර ගත් බවයි, අරුන් සෙල්වරාජ් සඳහන් කරන්නේ.

චාරිත්‍ර උඩු ගුවනේ දී

‘’අඩි දෙසීයක් පමණ ඉහල අහසේ මනාල ජෝඩුව මාල මාරු කර ගත්තා.අපි ආරාධිතයන්ට ද වේදිකාවක් මත සිට උත්සවයේ සියළු සජීවී දර්ශන නැරඹීමේ පහසුකම් සකස් කරනු ලැබයි තිබුණේ” අරුන් වැඩිදුරටත් පවසයි.

‘අයිස් ඉන්වෙන්ට්ස්’ ආයතනයේ කළමනාකරු වැඩිදුරටත් කියා සිටින්නේ, ඉහත කී සැලැස්ම අනුව විවාහ මංගල්‍යය සිදු වන්නේ එළිමහනේ වන බවයි.

ස්වකීය සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙවැනි විවාහ මංගල උත්සව තමිල්නාඩුවේ වැඩි වෙමින් පවතියි.

”ඇත්ත වශයෙන්ම, මෙය අද ඉහල සමාජ ස්තරයක සිටින අය අතර තරඟයක් බවට පත් වෙලා”ඒ අරුන් සෙල්වරාජන්ගේ තක්සේරුවයි.

මේ ආකාරයේ විවාහ උත්සව සැලසුම් කිරීමට ඍජුව හෝ ඍජු නොවන අයුරින් පුද්ගලයන් දහස් ගණනක් යොමු වෙන බව පෙන්වා දෙන ‘අයිස් ඉන්වෙන්ට්ස් ‘ආයතනය, ආර්ථික වශයෙන් දුප්පතුන් ජීවත් වන රටකට වුවද එය උචිත දෙයක් වන බවයි, එය සාධාරණීකරණය කරමින් කියා සිටින්නේ.