ඇසෑමයේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර

Image copyright AP

ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ‘බෝඩෝ’ ජන වාර්ගිකයන් යයි සැලකෙන ගරිල්ලන් කණ්ඩායමක් විසින් වෙන් වශයෙන් එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් මුස්ලිම් ගම්වැසියන් එකොළොස් දෙනකු මරා දමා ඇතැයි ඉන්දියාවේ නිලධාරීහු ප්‍රකාශ කරති.

නිදහස් බෝඩෝලන්තයක් වෙනුවෙන් සටන් වදින ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අයත් කණ්ඩායමක් විසින් එකී ප්‍රහාර එල්ල කරන ලද බවයි, ඇසෑම් පොලිසියේ සැකය වී තිබෙන්නේ.

බෝඩෝ ජනතාව වාසය කරන භූමිය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉන්දීය ආණ්ඩුවට එරෙහිව දිගු කලක් සටන් වැදී සිටියි.

අසල්වැසි බංග්ලාදේශයේ සිට එකී ‘බෝඩෝ’ කලාපයට අනවසරයෙන් ඇතුල් වී සිටින බවට ගරිල්ලන්ගේ චෝදනාවට ලක් වෙන මුස්ලිම් ජනතාවද නිතරම මෙන් ඉහත කී ආකාරයේ ප්‍රහාරවලට ගොදුරු වෙති.

එම සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාවට එරෙහි චෝදනාව වන්නේ, ඔවුන් දේශීය ‘බෝඩෝ’ ගෝත්‍රික ජනයාගේ ඉඩම් පැහැර ගන්නා බවටයි.

එහෙත් තමන් එම භූමියේ ජනාවාශ පිහිටුවා ගත්තේ මෙයින් වසර දශක කීපයකට පෙර බවයි සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව කියා සිටින්නේ.