ඇෆ්ඝන් නායයාමේ සෝදිසි මෙහෙයුම නතර කෙරෙයි

Image copyright AP
Image caption තවත් නාය යාම් සිදුවීමේ අවදානමක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ මහා නායයාම නිසා පස් යට සැඟවුණු ජීවිත ගොඩ ගැනීමේ මෙහෙයුම අත්හැර දමනු ලැබුණි.

බේරා ගැනීමේ කණ්ඩායම් සහ ගම් වැසියන් දෙවන දිනයටත් මෙහෙයුම්වල නිරතවයි සිටියේ.

අනතුර සිදු වූ ඊශාන දිග ඇෆ්ඝනිස්තානයේ ‘බාදක්ශාන්’(badakhsan) ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර මොහමඩ් බිදාර් පවසන්නේ විපතට පත් ජනතාව සඳහා සහණ මෙහෙයුම් පෙරට යමින් පවතින බවයි.

මළ සිරුරු තුන්සිය පනහකට වැඩි ප්‍රමාණයක් පසුගිය රාත්‍රියේදී සොයා ගෙන තිබුනත්, කිසිවෙකු පණ පිටින් සොයා නොගත් බවයි වාර්තා වන්නේ.

නාය යාමෙන් මරණයට පත් සංඛ්‍යාව පන්සීය නොඉක්මවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇෆ්ඝන් නිලධාරීහු පවසති.

බේරා ගැනීමේ නිරත වෙන කණ්ඩායම් සිය දෑත් හා උදළු ආදිය යොදා ගනිමින් මීටර දහයක් ගැඹුරැති මඩ තට්ටුවක් යට වැළලී ගිය ගම් වැසියන් සොයමින් සිටි නමුත්, එම ප්‍රයත්නය දිගටම පෙරට ගෙන යාමෙන් පලක් නොමැති බව නිලධාරීන් තේරුම් ගෙන ඇති බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

එම අනතුර සිදු වුනේ කන්දක් කඩා වැටී ගමක් යට වීමෙන්.

එම පළමු අනතුරට ගොදුරු වූ ජනතාව බේරා ගැනීමට ගිය ජනතාව තවත් නාය යාමකට ගොදුරු වීමෙන් ඔවුන් ද පස් කන්දකට යට වී ඇත.

මේ අතර තවත් නාය යාම් සිදුවීමේ අවදානමක් පවතින බැවින් ගම්මාන කිහිපයකම පදිංචි කරුවන් ඉවත්කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.